ඉන්දියාවේ දේශපාලනයට මරු පහරක් එල්ල කළ මොකක්ද මේ කැරපොත්තන්ගේ ජනතා පක්ෂය
ඉන්දියාවේ දැන් සෝෂල් මීඩියාව හරහා අලුත්ම කැළඹීමක් ඇති කරලා තියෙන්නේ “Cockroach Janta Party” එහෙමත් නැත්නම් CJP කියන ව්‍යාපාරය. මුලින් මේක පටන් අරන් තියෙන්නේ විහිළුවක් වගේ. හැබැයි දැන් මේක ඉන්දියාවේ තරුණ පරපුරේ ලොකුම ඩිජිටල් විරෝධතාවක් බවට පත්වෙලා.
මෙහි ආරම්භකයා විදිහට සඳහන් වෙන්නේ Abhijeet Dipke. ඔහු 2026 මැයි 16 දා මේ ව්‍යාපාරය පටන්ගෙන තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේක පටන් ගන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ Surya Kant කියන පුද්ගලයා කරපු ප්‍රකාශයක්. ඔහු විරැකියාවෙන් ඉන්න තරුණයන්ව “cockroaches” සහ “parasites” කියලා හඳුන්වලා තිබුණා. ඒකට විරෝධය දක්වන්න තමයි තරුණයන් ඒ “කැරපොත්තා” කියන නමම තමන්ගේ සටන් සංකේතයක් කරගෙන තියෙන්නේ.
AI වලින් හදපු සූට් ඇඳගත් කැරපොත්තු රූප, “#MainBhiCockroach” කියන හැෂ්ටැග් එක, දේශපාලන විහිළු — මේ හැම දෙයක්ම එකතු වෙලා ඉන්දියාවේ Gen Z තරුණයන් අතර මේක අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා.
ඒකේ ප්‍රබලත්වය කොච්චරද කියනවා නම්, සතියක් ඇතුළත Instagram වල මිලියන 20කට වඩා followers ලා ලැබිලා. සමහර වාර්තා අනුව BJP සහ Congress වගේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නිල ගිණුම් පවා මේක පසුකරගෙන ගිහින් කියලා කියනවා.
මෙම ව්‍යාපාරයේ මූලික තේමාවන් වෙලා තියෙන්නේ තරුණ විරැකියාව, උද්ධමනය, රජයේ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් සහ දේශපාලන ක්‍රමවේදය ගැන තියෙන කලකිරීම. ඒ වගේම අධ්‍යාපන අමාත්‍ය Dharmendra Pradhan ඉල්ලා අස්විය යුතුයි කියලා ලක්ෂ ගණනක අත්සන් එකතු කරපු පෙත්සමක් පවා ඉදිරිපත් කරලා තියෙනවා.
මුලින්ම සෝෂල් මීඩියා ව්‍යාපාරයක් විදිහට ආරම්භ වුණත්, දැන් මේක සැබෑ ලෝකයේ විරෝධතා, පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ තරුණ ක්‍රියාකාරකම් දක්වාත් ව්‍යාප්ත වෙලා කියලා සඳහන්.
ඒ අතරතුර CJP සම්බන්ධ Instagram සහ X ගිණුම් කිහිපයක් අවහිර කරලා, හැක් කරලා කියන චෝදනාත් මතුවෙලා තියෙනවා. Abhijeet Dipke කියන්නේ තමන්ගේ පවුලට පවා තර්ජන එල්ල වෙනවා කියලා. හැබැයි මේ ගැන ඉන්දීය රජය තවම නිල ප්‍රතිචාරයක් ලබාදී නැහැ.
