පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුමයි – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මේ අවුරුද්ද ඇතුළත අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට බල කරන බවයි. “මාලිමා” ආණ්ඩුවේ කිසිම පක්ෂ ලේකම්වරයෙකුට “පළාත් සභා මැතිවරණය තියන්නේ නෑ” කියලා කියන්න නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ කියලත් ඔහු සඳහන් කළා.
ඔහු කියන විදිහට, අද රටේ එකම පළාත් සභාවකවත් ජනතාව විසින් තෝරාගත් මන්ත්‍රීවරු නැහැ. හැබැයි පළාත් සභා සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල් කොහොම භාවිත කරනවාද, මොන කටයුතු වලටද යොදවන්නේ කියන තීරණ අද ගන්නේ ආණ්ඩුකාරවරුන් බවත්, ඒක සම්පූර්ණයෙන්ම ප්රජාතන්ත්ර විරෝධී තත්ත්වයක් බවත් ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නා.
ඔහු තවදුරටත් කියා සිටියේ, 2017ට පෙර තිබුණු ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්ෂ 43ක් ලිඛිතව එකඟතාව පළ කරලා තියෙන බවයි. “අලුත් ඡන්ද ක්‍රමයක් හදනවා” කියන මුවාවෙන් දිගින් දිගටම මැතිවරණ කල් දාන්න බෑ කියලත් ඔහු කියා සිටියා.
එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නම් පළාත් සභා පිහිටුවීමේ ඉතිහාසය ගැන දිගින් දිගටම අදහස් දැක්වුවා. ඔහු කියා සිටියේ, පළාත් සභා ක්‍රමය රටට හඳුන්වා දෙද්දී රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් තිබුණු බවයි.
“උතුරේ ත්රස්තවාදීන් වගේම දකුණේ ත්රස්තවාදීනුත් මේකට විරුද්ධ වුණා. ජේවීපී එක රටම ගිනි තිබ්බා. ‘පළා බබා අපිට එපා’ කියලා පාසල් ළමයින් පවා පාරට ඇද්දා,” කියලයි රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ.
ඔහු පවසන විදිහට, පළාත් සභා වෙනුවෙන් කතා කරද්දී තමන්ටත් බෝම්බ ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදු වුණා කියලාත්, එදා පැවති ප්රචණ්ඩත්වය තුළ දහස් ගණනක් මිනිසුන් ඝාතනයට ලක්වූ බවත් ඔහු සිහිපත් කළා.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අසාද් සාලි මහතා කියා සිටියේ, අද පළාත් සභා පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා ඇති බවයි. “දැන් පළාත් සභාවල වගකීම ගන්න කෙනෙක් නෑ. ඒ නිසා වහාම මැතිවරණය තියන්න” කියලා ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
හිටපු රාජ්‍ය අමාත්‍ය වඩුවෙල් සුරේෂ් මහතාත් කියා සිටියේ, විශේෂයෙන් වතුකර ප්‍රදේශවල රාජ්‍ය සේවා කටයුතු බොහෝමයක් ඇනහිටලා ඇති බවයි. “ආණ්ඩුකාරවරයාට සීමාවක් තියෙනවා. ජනතා නියෝජිතයන් නැති නිසා වැඩ කෙරෙන්නේ නෑ,” කියලයි ඔහු සඳහන් කළේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ එම්. ඒ. සුමන්තිරම් මහතා නම් චෝදනා කළේ, ආණ්ඩුව මැතිවරණයට බියෙන් පළාත් සභා ඡන්දය කල් දමන බවයි. “නීතිපතිතුමාත් කියලා තියෙනවා පරණ ක්‍රමයට ඡන්දය පවත්වන්න පුළුවන් කියලා. ඒ නිසා තවත් කල් දාන්න බෑ,” කියලා ඔහු අවධාරණය කළා.
