“වහාම නවතින්න” මානව වර්ගයා කෘතීම බුද්ධියේ වහලෙක්

ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා මේ වෙද්දී ලෝකයම කතා කරන කාරණාවක් ගැන බරපතල අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ තමයි කෘත්‍රිම බුද්ධිය, එහෙමත් නැත්නම් AI තාක්ෂණය ගැන.

පාප්තුමා කියන්නේ, අද මනුෂ්‍ය වර්ගයා ටික ටික AI තාක්ෂණයේ “වහලෙක්” බවට පත්වෙමින් ඉන්නවා කියලයි.

ඔහු මේ අදහස් පළ කරලා තියෙන්නේ, පාප් ධුරයට පත්වීමෙන් පස්සේ නිකුත් කළ පළමු නිල ලේඛනය හරහා. “Magnificent Humanity” කියලා නම් කරලා තිබෙන මේ ලියවිල්ලෙන් පාප්තුමා AI තාක්ෂණය ගැන දැඩි කනස්සල්ලක් පළ කරනවා.

පාප්තුමා පෙන්වා දෙන්නේ, අද සමාජයේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා වෙන්කර හඳුනාගන්නත් අමාරු තත්ත්වයක් ඇතිවෙලා කියලයි.

AI මගින් නිර්මාණය කරන වීඩියෝ, ඡායාරූප සහ හඬ පවා දැන් එතරම්ම යථාර්ථවාදී නිසා, සාමාන්‍ය ජනතාවට ඒවා සත්‍යද ව්‍යාජද කියලා තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා.

ඒ වගේම, AI තාක්ෂණය දිනෙන් දින ඉගෙන ගනිමින් තවත් බුද්ධිමත් වෙමින් පවතින බවත්, මනුෂ්‍යයාටත් වඩා තීරණ ගැනීමේ හැකියාවක් ඒවාට ලැබෙන තත්ත්වයක් උදාවෙමින් තිබෙන බවත් පාප්තුමා අනතුරු අඟවනවා.

“අපි AI භාවිතා කරන්න පටන් ගත්තේ ජීවිතය පහසු කරගන්න. හැබැයි අද ඒක අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා,” කියලයි පාප්තුමා සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, AI පද්ධති බොහොමයක් පෞද්ගලික සමාගම් අතේ තියෙන නිසා, මිනිස්සුන්ගේ දත්ත සම්පූර්ණයෙන්ම ඒ සමාගම්වලට භාරදීමත් අනතුරුදායක බවයි.

ඒ නිසාම, AI තාක්ෂණය පාලනය කරන්න රාජ්‍ය මට්ටමින් නව නීති සහ නියාමන ක්‍රමවේද ඉක්මනින් හඳුන්වා දිය යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

විශේෂයෙන්ම, අද පවතින යුද්ධවලදීත් AI තාක්ෂණය භාවිතා වෙනවා කියලා පාප්තුමා පෙන්වා දෙනවා.

ඇමෙරිකා – ඉරාන ගැටුම්වලදීත්, රුසියා – යුක්රේන යුද්ධයේදීත් ප්‍රහාර සැලසුම් කිරීම, ඉලක්ක හඳුනාගැනීම සහ යුද විශ්ලේෂණ සඳහා AI භාවිතා කරන බව ප්‍රසිද්ධ රහසක් බවයි ඔහු කියන්නේ.

“ජීවිතය සහ මරණය ගැන තීරණ AI එකකට භාරදෙන එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ” කියලත් පාප්තුමා දැඩිව සඳහන් කරලා තියෙනවා.

14 වැනි ලියෝ පාප්තුමා ඇමෙරිකානු ජාතිකයෙක් වන අතර, ඇමෙරිකානු ජාතිකයෙක් පාප් ධුරයට පත්වුණු පළමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසගත වෙනවා.

Share This