දේශබන්දුට අධිචෝදනා

2022දී ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නැවතත් උණුසුම් නීතිමය තත්ත්වයක් මතුවෙලා තියෙනවා.

මේ සිද්ධියට අදාළ විමර්ශනවලදී හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කරන්න බලාපොරොත්තු වෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ කරුණු අනාවරණය වුණේ, දේශබන්දු තෙන්නකෝන් මහතා මේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කරන්න කියලා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරපු ලිපියක් අභියාචනාධිකරණය බලරහිත කළ තීන්දුවකට එරෙහිව ගොනු කරලා තිබුණු ඇපෑලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවලා තිබුණා. ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන් එම මඩුල්ලට අයත්.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට කියා තිබුණේ, දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කරන්න කටයුතු කරන බවයි.

ඒ වෙලාවේ විනිසුරු නවාස් මහතා ප්‍රශ්නයක් අහලා තිබුණේ, “ඒකට කොච්චර කාලයක් යයිද?” කියලයි.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කියා තිබුණේ, මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කියා තිබුණේ, අධිචෝදනා ගොනු කරනවා නම් මේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැති බවයි.

කෙසේ වෙතත්, සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සැප්තැම්බර් 2 වනදා කැඳවීමට නියම කළා.

Share This