ශ්‍රී ලංකා පාකිස්තාන විද්‍යා සහ තාක්ෂණ සබඳතා තවත් ශක්තිමත් කරන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවයි පාකිස්තානයයි අතර විද්‍යා හා තාක්ෂණ සම්බන්ධතා තවත් ශක්තිමත් කරන්න දෙරටේ බලධාරීන් එකඟ වෙලා තියෙනවා.

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා අතර විශේෂ හමුවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙහිදී දෙපාර්ශ්වයම මතක් කරලා තියෙන්නේ, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා මීට පෙර අත්සන් කරලා තිබෙන අවබෝධතා ගිවිසුම ගැනයි.

ඒ ගිවිසුම යටතේ ජෛව තාක්ෂණය, නැනෝ තාක්ෂණය සහ ආහාර තාක්ෂණය කියන ප්‍රධාන ක්ෂේත්‍ර තුළ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ඒකාබද්ධ පර්යේෂණ, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, එක්ව පර්යේෂණ ප්‍රකාශන නිකුත් කිරීම සහ අනාගත මූල්‍ය ප්‍රතිපාදන සඳහා එක්ව අයදුම් කිරීම වගේ කටයුතු ඉදිරියට ගෙන යාමටත් දෙපාර්ශ්වය එකඟතාව පළ කරලා තියෙනවා.

මේ අතර මෙම සහයෝගීතා වැඩසටහන සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවන්නත් පාකිස්තාන මහ කොමසාරිස්වරයා යෝජනා කර ඇති අතර, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අමාත්‍යවරයාත් කැමැත්ත පළ කර තිබෙනවා.

පාකිස්තානයේ පෞද්ගලික අංශය පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන දායකත්වය, කාර්මික උද්‍යාන සහ විශ්වවිද්‍යාල-කර්මාන්ත සහයෝගීතා වැඩසටහන් ගැනත් මෙහිදී අවධානය යොමු වුණා.

එමෙන්ම “විශේෂ ආයෝජන පහසුකම් කවුන්සිලය” හරහා ආයෝජන ව්‍යාපෘති සඳහා පහසුකම් සලසන ආකාරය සහ පාකිස්තානයේ විශ්වවිද්‍යාල දෙකක් විශිෂ්ටතා මධ්‍යස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

දෙරටටම ප්‍රතිලාභ ලැබෙන ආකාරයට සහ කලාපීය දියුණුව වෙනුවෙන් එකට වැඩ කරන්න හැකි ක්‍රම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවවි සහ අධ්‍යක්ෂ ජාත්‍යන්තර සබඳතා ගීතානි කන්නන්ගර මහත්මිය ද එක්ව සිටියා.

Share This