ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති කිහිපයක් ගැන මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති සඳහා මේ වසරට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන, මේ මූල්‍ය වර්ෂය තුළදීම නිසි ලෙස භාවිතයට ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහ නඩත්තු කිරීමේ වගකීම් පැහැදිලිව පැවරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර පාලන ව්‍යාපෘති, කොළඹ නගරයේ ජල කළමනාකරණ වැඩසටහන් සහ බේරේ වැව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා.

තවද, රත්මලාන සහ මොරටුව වැනි කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් සාකච්ඡා කෙරුණු බව සඳහන්.

මෙම අවස්ථාවට අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ UDA ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Share This