ජනාධිපති ලේකම් සහ බෞද්ධාලෝක වෙසක් කමිටු සාමාජිකයන් අතර හමුවක්

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් 25වන වරටත් සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපයේ සූදානම් පිළිබඳ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ නියෝජිතයන් අතර මෙම සාකච්ඡාව පැවැත්වී තිබෙනවා.

මෙවර බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 30 සිට ජුනි 1 දක්වා බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක දායකත්වයෙන් මෙවර උත්සවය උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම, ආරක්ෂාව සහ අනෙකුත් පෙර සූදානම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනුග්‍රාහක සමාගම්වල නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියා.

Share This