පොදුරාජ්‍ය මණ්ඩල අධ්‍යාපන සමුළුවට එක්වීමට අග්‍රාමාත්‍යතුමිය බ්‍රිතාන්‍යයට පිටත්වෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද (18) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එක්සත් රාජධානිය බලා පිටත්ව ගියා.
ඇය මේ සංචාරයට යන්නේ 22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීමටයි.
මෙම සංචාරය අතරතුර, අධ්‍යාපනය, පර්යේෂණ, සංවර්ධන අධ්‍යයන සහ ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ඉහළ මට්ටමේ හමුවීම් කිහිපයකටත් ඇය එක්වීමට නියමිතයි.
ඒ අතර, බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් මහත්මිය හමුවී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව ගැන සාකච්ඡා කරන්නත් නියමිතයි. ඒ වගේම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් මහත්මියත් සමඟ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සබඳතා ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් සැලසුම් කරලා තියෙනවා.
මේ සමුළුවට සමගාමීව පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් ජනරාල්වරියත් ඇය හමුවීමට නියමිතයි.
ඊට අමතරව, සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ (IDS) 60 වැනි සංවත්සර උත්සවයටත් ඇය සහභාගී වන අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී විශේෂ දේශනයක් පැවැත්වීමටත්, එහි විද්වතුන් සහ සිසුන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියකටත් එක්වීමට නියමිතයි.
මේ සංචාරය හරහා අධ්‍යාපනය, පර්යේෂණ සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් තවත් ශක්තිමත් වෙයි කියලා අපේක්ෂා කරනවා.
