මිනිස් වාසයෙන් සදහටම දුරස් වන හොල්මන් නගරයක්! දේදුගල ලංකා සිතියමෙන් මැකී යයිද?

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දේදුගල කියන්නේ අද වෙනකොට බොහෝ දෙනෙක් අමතක කරලා තිබෙන, එක කාලෙක හරිම ජනාකීර්ණව තිබුණු නගරයක්. බටහිර චිත්‍රපටවල දකින්න ලැබෙන “Ghost Town” වගේම පාළු නගරයක හැඟීමක් අදත් මේ ප්‍රදේශයෙන් දැනෙනවා.

1970 දශකය වෙනකොට දේදුගල කියන්නේ කඩසාප්පු 150කට වැඩිය තිබුණු, ජීවන්ත වෙළෙඳ නගරයක්. රෙදි කඩ, හෝටල්, බාබර් සාප්පු වගේ ව්‍යාපාර රැසක් එදා නගරය පුරා ක්‍රියාත්මක වුණා. ඒ කාලේ දේදුගලින් පාන්දර 6ට පිටත් වුණු බස් රථයක් උදේ 9 වෙනකොට පිටකොටුවට යන තරමට ප්‍රවාහන පහසුකම් පවා දියුණු වෙලා තිබුණා.

එස්.කේ. කඩේ, බාවා කඩේ, කොච්චි මොහිදීන් කඩේ වගේ ප්‍රසිද්ධ වෙළෙඳ ස්ථාන නගරයේ ආර්ථිකයට ලොකු ශක්තියක් වුණා.

හැබැයි කාලයත් එක්ක දේදුගලේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

1972දී වතු ජනසතු කිරීමත් සමඟ විදේශීය වතු පාලකයන් රට හැර ගියා. ඒත් එක්ක වතු ආශ්‍රිත ආර්ථිකය බිඳ වැටුණා. නගරයේ ප්‍රධාන ගනුදෙනුකරුවන් වූ වතු කම්කරුවන් සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් ක්‍රමයෙන් ඉවත් වීමත් වෙළෙඳාම පහත වැටීමට හේතුවක් වුණා.

ඊට අමතරව, හැත්තෑව දශකයේ අලුත් මාර්ගය පැලම්පිටිය හරහා ඉදි කිරීමේදී දේදුගල නගරය මඟහැරීමත් සමඟ නගරය තනිකරම හුදෙකලා වුණා.

අද දේදුගලට ගියොත් දකින්න ලැබෙන්නේ කාලය විසින් අතහැර දැමූ නගරයක හැඩය. ඉංග්‍රීසි යුගයේ ඉදිකළ දෙමහල් ගොඩනැඟිලි දිරාපත්වෙමින් පවතිනවා. පාරවල් වල්වැදිලා. එක කාලෙක කඩ 150කට වැඩිය තිබුණු නගරයේ අද ඉතිරි වෙලා තියෙන්නේ කඩ කිහිපයක් විතරයි.

හැබැයි ස්වභාව සෞන්දර්යය අතින් දේදුගල අදත් හරිම සුන්දර තැනක්. බුලත්කොහුපිටිය හරහා දේදුගලට යන ගමනේදී නළඟන ඇල්ල, රිටිගහ ඇල්ල සහ රුක්මල් ඇල්ල වැනි දියඇලි රැසක් දැකගන්න පුළුවන්. ඒ වගේම මීදුමෙන් වැසුණු උඩපැලැම්පිටිය කඳු පන්තිය මේ ප්‍රදේශයට තවත් අපූරු හැඩයක් එකතු කරනවා.

දියුණුවත් එක්ක ඉස්සරහට යන ලෝකයක් අතරේ, කාලයත් එක්ක ආපස්සට ගිය දේදුගල අදත් අපට මතක් කරන්නේ — කාලය කියන්නේ ඕනෑම දේ වෙනස් කරන්න පුළුවන් බලයක් කියන එකයි.

Share This