කටුනායක ගුවන් තොටුපළේදී රුපියල් මිලියන 108 ක කොකේන් තොගයක් ශ්‍රී ලංකා රේගුවෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේ කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 108කට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 60ක් වන ඉන්දීය ජාතිකයෙක් වන අතර, ඔහු වෘත්තියෙන් භූ විද්‍යාඥයෙකු බව අනාවරණය වී තිබෙනවා. ඔහු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කටාර් ගුවන් සේවයට අයත් QR 664 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

රේගු නිලධාරීන් සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් ග්‍රෑම් 2,150ක් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 108ක් පමණ වන බව රේගු ආරංචි මාර්ග පවසනවා.

බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළක තවත් සාර්ථක වැටලීමක් ලෙස සැලකෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.

Share This