කෘෂිකර්ම දෙපාර්තමේන්තුව “ගොවිජන සභාව” ආරම්භ කරයි

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්තගේ අදහසකට අනුව “ගොවිජන සභාව” කියන නව වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා.
මෙහි ප්‍රධාන තේමාව වෙන්නේ “ගොවිජන බලය සමඟ පෙරට – ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස” යන්නයි.
මේ වැඩසටහනේ අරමුණ තමයි අමාත්‍යවරයා සෘජුවම ගම්වලට ගිහින් ගොවීන්ගේ ගැටලු අහලා, ඒවාට විසඳුම් ලබාදීම සහ අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීම.
වත්මන් ආණ්ඩුව බලයට ඇවිත් වසර එකහමාරක් ගතවෙන මේ වෙලාවේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ගොවීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් ගම් මට්ටමින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලාත් මෙහිදී සොයා බලනවා.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ක එක්ව ප්‍රාදේශීය මට්ටමින් ගොවිජන සභා දහසක් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.
ඔබේ ප්‍රදේශයටත් මේ වැඩසටහන ගෙනියන්න අවශ්‍ය නම්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හරහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙන්න කියලා අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
මෙහි ආරම්භක වැඩසටහන් ලෙස මිනිපේ වම් ඉවුර ගොවි පදනම සහ මොරගහකන්ද ඒකාබද්ධ ගොවි පදනම සංවිධානය කළ ගොවිජන සභාවලට ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහභාගී වෙලා තිබුණා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජාතික ජන බලවේග ආණ්ඩුව ගමට නව ආයතන සහ බලය ලබාදී තිබෙන බවයි.
“ප්‍රජා ශක්ති කමිටු” හරහා ගම්වල ජනතාවට තමන්ගේ ගම ගැන තීරණ ගන්න අවස්ථාව ලැබෙන බවත්, ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට රජය සහාය දෙන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කර අස්වැන්න වැඩි කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, මහ කන්නයෙන් පසු හැකි ඉක්මනින් යල කන්නය ආරම්භ කර තුන්වන කන්නයකටත් අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.
පොහොර මිල ඉහළ ගියත්, ගොවීන්ට කලින් මිලටම පොහොර ලබාදෙන බවත්, එම අමතර වියදම රජය භාරගෙන සමාගම්වලට ගෙවන බවත්, ගොවියාට එම බර පටවන්නේ නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
