කපිල චන්ද්‍රසේනට ඇප දෙන්න පැමිණි දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ අල්ලස් චෝදනා නඩුවේ නව වර්ධනයක් ලෙස, ඇප තැබීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් ඊයේ (5) පස්වරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
අධිකරණය නියම කළේ ඔවුන් එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

අත්අඩංගුවට පත් වූයේ මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන දෙදෙනාය. ඔවුන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල ප්‍රදේශයක පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.
පොලීසිය අධිකරණයට දන්වා ඇත්තේ,මෙම පුද්ගලයින් දෙදෙනා කපිල චන්ද්‍රසේන මහතාව නොදන්නා බවද රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවයි

ඇප තැබීමේදී සැක සහිත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලය කළ පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. තවද, ඔවුන්ට ස්ථිර රැකියාවක් හෝ පැහැදිලි ආදායම් මාර්ගයක් නොමැති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලහිරු සිල්වා අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ, ග්‍රාම නිලධාරි සහතික ලබාගත් ආකාරය පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකර
ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි

 

Share This