ශ්‍රී ලංකාවේ පළමු මෙට්‍රෝ බස් ඩිපෝවට මුල්ගල් තැබේ

ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහනයට නව මුහුණුවරක් ලබාදෙමින් ආරම්භ කළ මෙට්‍රො බස් සේවාව සඳහා අවශ්‍ය පළමු බස් ඩිපෝව ඉදිකිරීමේ වැඩ අද ආරම්භ කර තිබෙනවා.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් කඩවත ප්‍රදේශයේදී මේ වැඩ ඇරඹුණා.

රුපියල් මිලියන 102ක වියදමින් ඉදිවන මෙම ඩිපෝව 2026 ජූලි 30 වනදාට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දැනට බස් රථ 10ක් යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙට්‍රො බස් සේවාව අගෝස්තු මාසයේ සිට තවත් පුළුල් කිරීමටත්, ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ බස් රථ 122ක් ධාවනයට එක් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ඒ සමඟ කඩවතට අමතරව ඒකල, රත්මලාන සහ තලංගම ප්‍රදේශවලත් නව ඩිපෝ ඉදිකිරීමට නියමිතයි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ, ලංගම සේවාව ප්‍රතිසංවිධානය කරමින් පොදු ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම සහ ප්‍රමිතිගත සේවාවක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

Share This