මෙරට ධීවර ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්න ඩෙන්මාර්කයේ ආයෝජන ආයතන සමග සාකච්ඡා

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාත්, අමාත්‍යාංශ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතාත් ඩෙන්මාර්කයට ගිය නිල සංචාරයක් අතරතුර 24 වෙනිදා මේ සාකච්ඡා සිදු කරලා තියෙනවා.

ලෝකයේ දෙවැනි විශාල නාවික ප්‍රවාහන සමාගමක් වන MAERSK හි ප්‍රධාන කාර්යාලයේදී, එහි ප්‍රධාන නිෂ්පාදන නිලධාරී Johan Sigsgaard සමඟ විශේෂ හමුවක් තියලා තියෙනවා.

එතනදි ශ්‍රී ලංකාවේ ධීවර පවුල්වල තරුණයන්ටත්, නාවික ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන අයටත් MAERSK සමාගමේ ජාත්‍යන්තර නෞකාවල රැකියා අවස්ථා ලබාදීම ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒකට සම්බන්ධව නාවික පුහුණු ආයතන එක්ක එකතුවෙලා පුහුණු වැඩසටහන් කරන්නත්, ලාංකිකයන්ට විශේෂ රැකියා කොටාවක් ලබාගන්නත් යෝජනාවක් ඉදිරිපත් කරන්න එකඟතාවක් ලැබිලා තියෙනවා.

ඊට පස්සේ, ඩෙන්මාර්කයේ ප්‍රමුඛ ව්‍යාපාරික සංවිධානයක් වන Danish Industry හි ජ්‍යෙෂ්ඨ උපදේශක Ole Linnet Juul සමඟත් සාකච්ඡා කරලා තියෙනවා. එතනදි ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම, තිරසාර මුහුදු සංචාරක ව්‍යාපාර, හරිත බලශක්තිය සහ නවීන මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන ගැන කතා වෙලා තියෙනවා.

ඩෙන්මාර්ක පාර්ශවයත් මේ ක්ෂේත්‍රවලට තාක්ෂණික සහය දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා.

ඊළඟට, Impact Fund හි කළමනාකාර අධ්‍යක්ෂ Otto Vinther Christensen සමඟ හමුවක් තියලා, ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපෘති සඳහා අඩු පොලී ණය ලබාගන්න හැකියාව ගැන කතා කරලා තියෙනවා.

විශේෂයෙන් හරිත බලශක්තිය සහ මත්ස්‍ය කර්මාන්තශාලා සඳහා මේ අරමුදලෙන් සහය ගන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ පැවැත්වෙන ආයෝජන සමුළුවකට එන්න කියලාත් ඔවුන්ට ආරාධනා කරලා තියෙනවා.

මේ සාකච්ඡා හරහා ලංකාවට විදේශ ආයෝජන ගෙන එන්නත්, ජාත්‍යන්තර රැකියා අවස්ථා වැඩි කරගන්නත් හොඳ පදනමක් තියාගත්තෙයි කියලා අමාත්‍යවරයා කියලා තියෙනවා.

Share This