අටවැනි පාස්කු සංවත්සරයට පෙර… වැරදිකරුවන් නීතිය හමුවට! දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී

අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ගැන ලොකු හෙළිදරව්වක් සිද්ධ වුණා. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කිව්වේ, මේ ප්‍රහාරයේ අටවැනි සංවත්සරයට කලින් සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගේනවා කියලයි.

අද නඩුවට, දැනට රැඳවුම් භාරයේ ඉන්න රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේවත් ඉදිරිපත් කරලා තිබුණා. දිලීප පීරිස් මහතා අධිකරණයට කිව්වේ මේ ප්‍රහාරය පිටුපස ලොකු දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා කියලයි. වව්නතිව් සිද්ධියේදී සහරාන්ව අල්ලගන්න තිබුණු අවස්ථාව පවා බුද්ධි අංශ විසින් හිතාමතාම යටගහලා තියෙනවා කියලා ඔහු චෝදනා කළා.

එතනදී හෙළිවුණු තවත් වැදගත් කරුණු කිහිපයක් මෙන්න:

  • සාක්ෂිකරුවන්ට බලපෑම්: විමර්ශනයට උදව් කරන සාක්ෂිකරුවන්ට බුද්ධි අංශවලින් දිගින් දිගටම තර්ජනය කරනවාලු. එක් සාක්ෂිකරුවෙක්ව STF එක හරහා අල්ලගන්න අත්බෝම්බ පවා නිවසට දාන්න සැලසුම් කරලා තිබුණා කියලා පැමිණිල්ල කිව්වා.

  • අසාද් මවුලානා: මේ කුමන්ත්‍රණය ගැන තොරතුරු හෙළි කරපු අසාද් මවුලානා දැනට ඉන්නේ ප්‍රංශයේලු. ඔහුගෙන් ප්‍රකාශයක් ගන්න ප්‍රංශ තානාපති කාර්යාලය හරහා කටයුතු කරනවා කියලා දැනුම් දුන්නා.

  • පිල්ලෙයාන්ගේ සම්බන්ධය: පිල්ලෙයාන් බන්ධනාගාරයේ ඉද්දි සහරාන්ගේ මල්ලිව හමුවෙන්න සුරේෂ් සලේ උදව් කළා කියලා පැමිණිල්ල චෝදනා කළා.

මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා කිව්වේ මේක සෙල්ලමක් නෙවෙයි කියලා. “මතවාද නෙවෙයි, සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන්න” කියලා ඔහු අවධාරණය කළා.

සුරේෂ් සලේගේ නීතිඥයා මේ චෝදනා ප්‍රතික්ෂේප කළා. සුරේෂ් සලේ මහතාටත් මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් දෙන්න අවශ්‍ය බව ඔහු පැවසුවා. අවසානයේදී අධිකරණය නියෝග කළේ සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන විමර්ශන කරන්න කියලයි. නඩුව මැයි 20 වැනිදා ආයෙත් කැඳවන්න නියමිතයි.

Share This