ඩොලර් මිලියන 2.5ක් මගින් ඇදලා? රටකට ගෙවන්න තිබුණ ණය මුදලක් හැකර්වරුන්ගේ වැඩක් බවට සැක….

ලංකාව ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවන්න තිබුණ රටකට, ඒ ණයෙන් කොටසක් විදිහට ඩොලර් මිලියන 2.5ක් ගෙවලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ, මේ සල්ලි අදාළ රටට නෙමෙයිලු ගිහින් තියෙන්නේ. කවුරු හරි පරිගණක හැකර් කෙනෙක් මේ සල්ලි ටික තමන්ගේ පැත්තට හරවාගෙන කියලා තොරතුරු වාර්තා වෙනවා.

මේ ගැන අද පැවැත්වුණු කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා. එතකොට කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කිව්වේ, ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මේ ගැන කතානායකතුමාට ලිපියකින් දැනුම් දීලා තියෙනවා කියලා විතරක් දැනට වාර්තා වෙලා තියෙනවා කියලයි.

හැබැයි මාධ්‍යවේදියා තවත් දුරටත් තොරතුරු හෙළි කළා. එයා කියන විදිහට මේ වෙද්දිත් මුදල් අමාත්‍යාංශය පරීක්ෂණයක් පටන් අරන්, අධ්‍යක්ෂවරු දෙන්නෙක් ඇතුළු හතර දෙනෙක්ගේ වැඩ තහනම් කරලලු තියෙන්නේ. මෛත්‍රි ගුණරත්න මහතා ඉල්ලලා තියෙන්නේ මේ ගැන පාර්ලිමේන්තු කමිටුවක් හරහා විශේෂ විමර්ශනයක් කරන්න කියලයි.

අන්තිමේදී අමාත්‍යවරයා කිව්වේ, මේ ගැන කරුණු හොයලා බලලා පාර්ලිමේන්තුව හරහා පරීක්ෂණයක් කරනවද නැද්ද කියලා කතානායකතුමා තීරණය කරයි කියලයි. රටේ ආර්ථිකය හසුරවන මහා භාණ්ඩාගාරය වගේ තැනක මෙහෙම දෙයක් වුණේ කොහොමද කියන එක නම් ලොකු ප්‍රහේලිකාවක් නේද? ඉස්සරහට මේ ගැන මොකද වෙන්නේ කියලා අපි බලමු.

Share This