යතුරුපැදියක් හප්පා පළාගිය ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට
යතුරුපැදිය හප්පා අනතුරක් සිදුකර පළාගිය ත්‍රිරෝද රථ රියදුරෙකු, සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝ දර්ශන සහ සී.සී.ටී.වී (CCTV) දර්ශන ආධාරයෙන් ඊයේ (21) දින අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත්ව තිබේ.පසුගිය අප්‍රේල් 14 වනදා මෙම අනතුර සිදුව ඇති අතර, ත්‍රිරෝද රථය යතුරුපැදියේ හප්පා නොනවත්වා ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පෙළක් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
අනතුරට පත් යතුරුපැදිකරුවන්ගෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී. එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ දර්ශන සහ මාර්ගය දෙපස සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධති. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු සහ අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථය හඳුනාගෙන අද දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන, බොරුපන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
සැකකරු හෙට දින (2026.04.22) ගල්කිස්ස ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
