කොටියා ගත්තෙ ගොදුරක්! ගොදුරකදී මුවෙක්ද, ගෝනෙක්ද, මිනිහෙක්ද අදාල නැහැ

බඹරගස්තලාවෙ කොටියා ගැන ලොකු දේවල් කිව්වම තේරෙන්නෙ නැති නිසා මෙහෙම කියන්නම්
1. කොටියා ගත්තෙ ගොදුරක්. උගෙ සුපුරුදු දඩයම් ගැනීමේ ක්‍රම, දඩයම් රටාව, නැවත ගොදුරකට පැමිණීම කියන ඔක්කොම සාධක මේක ඇතුලෙ තියෙනවා. කොටියෙක්ට ගොදුරක් ගනිද්දි ඒ මුවෙක්ද, ගෝනෙක්ද, මිනිහෙක්ද අදාල නැහැ. අවස්ථාව අනුව මිනිස්සුත් ගොදුරක් වෙනවා.
2. කිසිම විදිහකින් මේ සතා මිනී කන සතෙක් (Man-eater) විදිහට හදුන්වන්න බැහැ. එහෙම කියන්න පැහැදිලි සාක්ෂි නැහැ. නමුත් ඉදිරියට ඕන නම් මේ සතාගෙ හැසිරීම් අධ්‍යනය කලොත්, යම් පර්යේෂණ හා ක්‍රම හරහා එහෙම වෙයිද කියන අනුමාන කරන්න පුලුවන් වෙයි. Predatory Behavior / Psycology හෙවත් විලෝපික හැසිරීම / මනෝවිද්‍යාව හරහා බලන ක්‍රම තියෙනවා.
3. දඩයමකින් පස්සෙ පසු හැසිරීම බලනකොට හොඳම දේ තමයි තවදුරටත් ඒ භූමියෙන් මිනිස්සු අයින් කරන එක. කුඩුම්බිගල වගේ පැතිවල වනාන්තර, පර්වත වැනි විලෝපිකයින් නිතර ගැවසෙන වාසස්ථාන සහ මිනිස් ක්‍රියාකාරකම් එකට එකතු වන නිසා, මිනිසුන් හා විලෝපික සතුන් අතර සීමාවක් (Controlled Limits) පැහැදිලිව පවතින්නෙ නැහැ. එවැනි තත්ත්වයක තනිව ගමන් කිරීම හෝ රැඳී සිටීම හරහා වෙන්නෙ අවධානම වැඩි වෙන එක හෝ ප්‍රහාරයකට / ගැටුමකට අවස්ථා නිර්මාණය වෙන එක.
4. කොටි කියන්නෙ මිනිසුන්ව මඟහැර සිටින, ලැජ්ජාශීලී සහ සැඟවුණු ජීවියෙක්. කෙසේ වෙතත්, විශේෂ තත්ත්වයන් යටතේ එහි හැසිරීම වෙනස් වෙන්න පුලුවන්. ඒකට මුල් වෙන්නෙත් මිනිස්සු වැඩිපුරම. මානව හැසිරීම්, චර්යා හරහා සතුන්ගෙ චර්යා රටා (Behavior Patterns) වෙනස් වෙනවා. ඒක විලෝපික සතුන්ටත් පොදුයි.
5. නැගෙනහිර පලාත ආශ්‍රිතව තමයි වැඩිපුරම ලංකාවෙ කොටින්ගෙන් මිනිස්සුන්ට උන පහර දීම් වාර්තා වෙන්නෙ. පූනානි, පොට්ටන, කෝමාරි, කුමන හා ඒ ආසන්න ප්‍රදේශවල තමයි වැඩිපුර සිදුවීම් වාර්තා වෙලා තියෙන්නෙ. ඒ වගේම ජනප්‍රවාද වල එන ලේනම කොටින්ටත් හිමිකම් කියන්නෙ මේ සිදුවීම උන භූමිය. ඒ නමුත් කිසිම විදිහකට පැහැදිලි සාක්ෂි නැතුව මේ සතුන්ගෙ හැසිරීමේ වෙනස්කම් ගැන කියන්න අමාරුයි. කරන්න පුලුවන් අනුමාන විතරයි.
6. ආයෙම කියන්න තියෙන්නෙ මේ සිදුවීම උන ප්‍රදේශය ආශ්‍රිතව කොටින්ගෙ හැසිරීම ගත්තම මේ සිදුවීම වෙන්න පුලුවන් කියල අනුමාන කරන්න හැකි උන හැසිරීම් තිබ්බා. ඒ වගේම මේවා වලක්වගන්න පුලුවන් සිදුවීම්. අපවත් උන ස්වාමීන්වහන්සෙ දැන දැනම කැමැත්තෙන් ගොදුරු උනාද නැද්ද කියල මම දන්නෑ. එහෙම කැමැත්තෙන් කොටියෙක්ට මනුස්සයෙක් ගොදුරු වෙනවා මම අහලත් නැහැ. නමුත් කියන්න ඕන අවසානෙට මෙච්චරයි, දෙයක් උනාට පස්සෙ ඒක යන්නෙ මිනිස්සුන්ගෙ පිටින් නෙවෙයි, සතාගෙ පිටින්. සමහර විට ඒකෙ බලපෑම දශක ගාණකට, පරම්පරා ගාණකට පවතින්න පුලුවන්.
උපුටා ගැනීම – සෙත් මුහන්දිරම්ගෙනි

Share This