ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළට

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ලබා දීමට එකඟතාව

ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට
සහාය දෙන්න
-ජනපති

ආර්ථික ස්ථාවරභාවයත්, සංවර්ධනයත් වෙනුවෙන් රජයේ කැපවීම අගය කරනවා
-ආසියානු සංවර්ධන බැංකු සභාපති

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර තිබේ.

මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

පශ්චාත් ආපදා තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම
සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවද පැවසීය.

Share This