යල කන්නයට පොහොර හිඟයක් නොවන බවට කඩිනම් වැඩපිළිවෙළක් – ජනපති උපදෙස්

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් ජාලවල ඇතිවී තිබෙන බාධා සැලකිල්ලට ගනිමින්, 2026 යල කන්නයේ වී වගාවට සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් ලෙස වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහභාගී වී ඇත.

2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 5.5ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය, දැනට පවතින තොග සහ ඉදිරියේදී ආනයනය කිරීමට නියමිත තොග පිළිබඳවද මෙහිදී විමසා බැලුණි.

රටේ ආහාර සුරක්ෂිතතාවයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදෙමින්, ගොවි ජනතාවට පොහොර හිඟයකින් තොරව සැපයීම සඳහා වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති උපදෙස් දී තිබේ.

එමෙන්ම, ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදීමට රජය, පෞද්ගලික අංශය සහ ගොවියා එක්ව ක්‍රියා කළ යුතු බවද අවධාරණය කර ඇත.

Share This