ඊශ්‍රායලයට විරෝධය පළ කළ බව කියමින් මාස 9ක් රඳවාගෙන සිටි මුස්ලිම් තරුණයාගෙන් දෙහිවල පොලිසියේ හිටපු ස්ථානාධිපති සමාව ගනියි

2024 වසරේ ඔක්තෝබර් මස ඊශ්‍රායල ධජයට අනතුරක් සිදු කරන ආකාරයේ සමාජ මාධ්‍ය පළ කිරීමක් කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත්කරන ලද මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (මාර්තු 23 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඊට අමතරව මෙම ක්‍රියාව තුළින් අදාළ තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දියක් තමන් ගෙවන බවත් එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ එච්.එම්.ඒ බී හේරත් විවෘත අධිකරණයේ ප්‍රකාශ කර සිටියේය.

ඉන් අනතුරුව අදාළ මුදල් වග උත්තරකාර ස්ථානාධිපතිවරයා විසින් විවෘත අධිකරණයේදී අදාළ තරුණයාට භාර දෙනු ලැබිණි.

නඩුකරය සමථයට පත්කර ගැනීමට සූදානම්

තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව අදාළ තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම් සිදුකෙරුණි.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට දන්වා සිටියේ වග උත්තරකාර පොලිස් නිලධාරින් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට වැරදි කරුණු වාර්තා කර තම සේවා දායකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස නවයකට අධික කාලයක් රිමාන්ඩ් භාරයට පත් කර සිටි බවයි.

ඉන්පසුව සිය සේවා දායකයාට එරෙහිව නඩු නිමිත්තක් නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු නිදහස් කෙරුණු බවත් නීතිඥවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම නඩුකරය සමථයකින් අවසන් කිරීමට හැකියාව තිබෙන බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරු දැනුම් දී තිබෙන බවත් නීතිඥ හිස්බුල්ලා සහ අධිකරණය හමුවේ සඳහන් කළේය.

උපුටා ගැනීම BBC සිංහල වෙබ් අඩවියෙන්..

Share This