ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 620ක ණයක්

වැඩසටහන් පහක් යටතේ ණය ඉල්ලීමට කැබිනට් අනුමැතිය

ප්‍රතිපත්ති පාදක ණය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පළ කර ඇති එකගත්වයට අනුව උප වැඩසටහන් පහක් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 620ක ණය මුදලක් සම්පාදනය කර ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව වෙළඳ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනට ඇමරිකානු ඩොලර් මිලියන 100ක්, ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් සඳහා ශක්තිමත් මූල්‍ය පසුබිමක් ගොඩනැගීමේ වැඩසටහනට ඩොලර් මිලියන 220ක්, ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඩොලර් මිලියන 100ක් , ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ සමාවේශී ප්‍රතිසාධනය සඳහා අවස්ථාන ලබාදිමේ සංවර්ධන වැඩසටහනට ඩොලර් මිලියන 100ක් හා කෘෂිකාර්මික වටිනාකම් දාම මූල්‍යකරණය සහ වාණිජකරණ අංශ සංවර්ධන ව්‍යාපෘතියට ඩොලර් මිලියන 100ක් ලෙස මෙම ණය මුදල ලබාගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව මෙරට සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම මෙම ණය ලබාගැනීමේ අරමුණවේ.

Share This