QR code ප්‍රශ්නය අදින් අවසන් කරනවා! – නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

QR code fuel quota system to be updated at midnight today

ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ උද්ගතව පවතින තාක්ෂණික බාධා හෙට උදෑසන වන විට විසඳා ජනතාවට පහසුවෙන් ඉන්ධන ලබාගත හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය Eranga Weeraratne මහතා ප්‍රකාශ කළේය.

ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කරගනිමින් ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහා නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ලෝක වෙළඳපොළේ පවතින අවිනිශ්චිතතාවයන් හමුවේ රටක් ලෙස ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවත්, මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් රටවල් කිහිපයක් ඉන්ධන භාවිතය සීමා කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තවද Ceylon Petroleum Corporation සතුව ඉදිරි මාස කිහිපයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, ඒවා දිගු කාලයක් පවත්වාගෙන යාම සඳහා ක්‍රමානුකූල බෙදාහැරීමේ ක්‍රමයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් වැළැක්වීම සඳහා QR කේතය හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන සති අන්තයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවද සඳහන් විය.

එමෙන්ම පද්ධතියේ පැවති වාහන අයිතිය වෙනස් වීම සහ ජංගම දුරකථන අංක සම්බන්ධ ගැටලු සදහාද විසඳුම් ලබාදී ඇති අතර වාහන ඉවත් කිරීමේ (Deregister) පහසුකම ද දැන් විධිමත්ව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පැවසීය.

ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන හිඟයක් පිළිබඳ බියට පත් වී පෝලිම් නිර්මාණය නොකරන ලෙසත්, රජය හඳුන්වා දෙන මෙම කළමනාකරණ ක්‍රියාවලියට සහය ලබාදෙන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Share This