රට තුළ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමග මතුවූ තත්ත්වය පූර්ව උපකල්පන ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් නොවන බවත්, මතුවන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණය පවත්වාගෙන යමින් රටක් ලෙස මෙම අභියෝගයට සාමුහිකව මුහුණදිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පවතින තත්ත්වය හේතුවෙන් අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතුවී ඇති ගැටලු පිළිබඳ අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග අද (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසනු ලැබීය.

අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන්, පවතින තත්ත්වය හමුවේ පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදී යොමුකර ඇති අතර, ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයාබලන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

තවද කෘෂිකර්මාන්ත, ධීවර හා කර්මාන්ත අංශයන්හි ඉන්ධන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා තව දුරටත් පෙන්වා  දී තිබේ .

Share This