යාපනය – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා සැමට සියලු පහසුකම් සහිත සේවා මධ්‍යස්ථානයක්
ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ රුපියල් මිලියන 15 ක වියදමින් වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉරට්ටපෙරියකුලම් ග්‍රාම සේවා වසමේ, යාපනය – කොළඹ මාර්ගයට මුහුණලා සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය ඊයේ (10) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
යාපනය – කොළඹ මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට හා රියදුරන්ට ගිමන් නිවා ගැනීම සඳහා සියලු පහසුකම් සහිතව සැලසුම්කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභීන් 14 දෙනෙකු සවිබලගැන්වීමට අපේක්ෂිතයි. ඊට අමතරව වක්‍ර ප්‍රතිලාභීන් 30 දෙනෙකුට පමණ ආදායම් අවස්ථාත් හිමි වනු ඇත.
ප්‍රණීත ආහාර පාන, විවිධ නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ ඇතුළත් වෙළඳ කුටි, සනීපාරක්ෂක සේවා, උතුරු පළාතට ආවේනික විවිධ වූ නිෂ්පාදනයන් මිලදී ගැනීමටත්, දෙස් විදෙස් සංචාරකයන් හා රියදුරන් ඇතුළු යාපනය කොළඹ මාර්ගයේ ගමන්ගන්නා විශාල පිරිසක් සඳහා වෙහෙස මහන්සිය නිවා ගැනීම වෙනුවෙන් සේවා රැසක් මෙම මධ්‍යස්ථනය මගින් සැපයීමට බලා පොරොත්තුවන බව වැඩි දුරටත් සදහන් කර සිටිනවා.
