පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම 18 වැනිදා කැඳවයි
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා නැගෙනහිර පළාතේ හිටපු ප්රධාන අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් (පිල්ලෙයාන්) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු මස 18 වනදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද (09) නියෝග කළේය.
අද දිනයේදී පෙත්සම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර, එහිදී කරුණු සලකා බැලූ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම විභාගය සඳහා ලබන 13 වෙනිදා කැඳවීමට නියම කර ඇත.
මෙම පෙත්සම මගින් පෙත්සම්කරු වන පිල්ලෙයාන් කියා සිටින්නේ, තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තබා ගැනීම නීතියට පටහැනි වන අතර, එමගින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
