පිරමීඩ ජාවාරමේ යෙදුණු චීන්නු 16ක් අල්ලයි

විසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිට පිරමීඩ  ආකාරයට නීති විරෝධී අයුරින් මුදල් වංචාවේ යෙදුණු චීන ජාතිකයන් 16 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

ලැෆ්ටොෆ් පරිගණක 23 ක් ජංගම දුරකථන 11 ක් රවුටර් 07 ක් හඬ පරිවර්තන යන්ත්‍ර 09 ක් හා විදෙස් දුම් වැටි 3280 ක්  එම සැකකරුවන් සමග පොලිස් භාරයට ගෙන ඇත.

මීට දින කීපයකට ඉහතදී කොළඹ 05 ලිපිනයේ ජාවත පාර, දොන් කරෝලිස්පාර ලිපිනයේ තාවකාලිකව පදිංචියට පැමිණි චීන ජාතිකයන් පිරිසක් කිසියම් නීති විරෝධී කටයුත්තක යෙදෙන බවට සැකයක් මතුව ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් සුජීව කුමාර මහතාට ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් එම වැටලීම සිදුකර ඇත.

චීන ජාතික පිරිමි පුද්ගලයන් 16 දෙනා සන්තකයේ තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තිබී ඇත. එමෙන්ම  ඔවුන් රැඳී සිටි ස්ථානය වැඩිදුරටත් සිදු කළ පරික්ෂාවේදී ලැෆ්ටොෆ් පරිගණක සහ සෙසු දේපළ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

මෙම සැකකාර චීන ජාතිකයන් මෙරට රැඳී සිටි විදේශීය රටවල් හා සම්බන්ධ වෙමින් විවිධ පුද්ගලයන් රවටා පිරමීඩ ජාවාරමේ යෙදෙන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share This