අ‌ශෝක රන්වල  බොරු කියලා නම් කතානායක ධුරයෙන් නෙරපන්න..!

අ‌ශෝක රන්වල  බොරු කියලා නම් කතානායක ධුරයෙන් නෙරපන්න..!

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටින ආචාර්ය අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එල්ල වන විවේචන හේතුවෙන්.

ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා ද සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා.

එමඟින් දේවසිරි මහතා අවධාරණ කරන්නේ, කතානායකවරයා ඉදිරිපත් කර ඇති තොරතුරු අසත්‍යය නම් අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

“රන්වල පරීක්ෂාව!!!

==========

ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේගපන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.”

 

මේ අතර කතානායක ආචාර්ය අශෝක රන්වල මතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මොරටු විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පැහැදිලි කිරීමක් රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ආචාර්ය කුමාර කළුආරච්චි මහතා ඉල්ලා තිබෙනවා.

ඔහු මේ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් තබමින් තහවුරු කළා.

“ගරු කථානායක තුමනි,

ඔබ වෙනුවෙන් ජනනය කල විකිපීඩියා පිටුවේ සහ තවත් වෙබ් අඩවි කීපයක ඔබතුමා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන ඉන්ජිනේරු උපාධිය ද ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයෙන් ජෛවරසායනය පිලිබඳ ආචාර්‍ය උපාධිය ද ලබා ගත්තෙකු බව සඳහන් වේ. ඔබ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පත් වූ දා රජයේ ඉන්ජිනේරුවන් ගේ සංගමයේ මුහුණු පොත් පිටුවේද ඒ බව සඳහන් කරමින් ඔබට සුබ පතා තිබුනි.

ආචාර්‍ය උපාධියක් ගන්නාවිට අඩුම තරමින් එක විද්‍යාත්මක ප්‍රකාශනයක් වත් පල කෙරෙන බැවින් ඒවා සියල්ල සටහන් වන Google scholar වෙබ් පිටුවෙන් ඔබේ නම යොදා කරන ලද සෙවීමකට අනුව ඔබේ නමින් එකම එක විද්‍යාත්මක ප්‍රකාශනයක් වත් පලවී නැති බව තහවුරු විය. තවදුරටත් සොයා බැළීමේදී ඔබ සමග ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්තාවේ සේවය කල අය හට ඔබ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු බව අමතකව තිබේ.

වැඩිදුර සොයාබැලීම සඳහා මා මොරටු විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී තුමා ගෙන් තොරතුරු දැණගැනීමේ පනත යටතේ පැහැදිලිකිරීමක් ඉල්ලා සිටියෙමි. එම විමසුමට ඔබතුමා සත්‍ය වශයෙන් ම මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු බව තහවුරු කරමින් සතුටුදායක පිලිතුරක් ලැබේ යැයි අපේක්ශා කරමි. එසේම යම් හෙයකින් ගරු කථානායක තුමා සමග මොරටු විශ්ව විද්යාලයේ උපාධිය හැදෑරූ අයෙක් වේ නම් ඔහු හෝ ඇය එතුමා සැබවින් ම මොරටු විශ්ව විද්යාලයේ විද්‍යාර්ථියෙකු යැයි මෙහි කොමෙන්ටුවක් දමා සහතික කරන්නේ නම් මා කෘතඥ වෙමි.

සමහර දේශපාලකයන් ගේ අධ්යාපන සුදුසුකම් ව්‍යාජ ඒවා බවත්, ඔවුන් එම සුදුසුකම් ලබා ගත්තේ අක්‍රමිකතා මැද විබාග වලට ලිවීමෙන් බවත් චන්දදායකයන් ට රසකර කියමින් හඬ නැගූ ඔබලා තවමත් වියාජ අධ්යාපන සුදුසුකම් වලට විරුද්දව නැගී සිටිනු ඇති බව මගේ විශ්වාශයයි. ජයවේවා!”

Share This