ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීයි.

නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවයි එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් නිසි වේලාවට බදු අය කර ගැනීමට පියවර ගන්නා ලෙසටත් නිලධාරින්ට උපදෙස්දී තිබෙනවා.

සුරාබදු අය කර ගැනීමේ අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

අයවිය යුතු බදු ප්‍රමාණය අය කර ගැනීම, අසාදුගත ආයතන  මෙන්ම බදු අය කර ගත නොහැකි ආයතනවල  බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බව සඳහන්.

එමෙන්ම බදු අය කර ගැනීමේදී පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වුණා.

බදු අය කර ගැනීමේදී මතුව ඇති ගැටලු සහ සුරාබදු නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු බව සඳහන්.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බව  මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආර්ථිකයට  හිතකර ලෙස එම ආයතන පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කර සිටියා.

නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලියෙහි මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර කෘත්‍රීම රා හේතුවෙන් ජනතාවට සිදු වන හානිය සම්බන්ධව ද අවධානය යොමු කෙරුනු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This