ගුවන් මගියෙක් අතැර දමා ගිය බෑගයේ කෝටි 11ක කුෂ් තොගයක්

ගුවන් මගියෙක් අතැර දමා ගිය බෑගයේ කෝටි 11ක කුෂ් තොගයක්

(කටුනායක – ටී.කේ.ජී. කපිල)
රුපියල් එකොළොස් කෝටි තිස්හය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, කොළඹ වරාය තුළ පිහිටි ගුවන් මගීන් විසින් අත්හැර දමන ලද ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගමන් මල්ල 2025 වසරේ මාර්තු 17 දින තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියකු විසින් රැගෙන විත්, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්හැර දමා පළා ගොස් තිබූ එකකි.
පසුව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ගමන් මල්ල ගුවන් තොටුපොළ අත් හැර දමා ඇති ගමන් මලු ගබඩාවේ තබා, ඉන්පසුව කොළඹ වරාය තුළ පිහිටි රාජසන්තක කරන ලද සහ අත් හැර දමා ඇති ගුදම වෙත මාරු කර යවා තිබේ.
මාස 09ක කාලයක් මෙම ගමන් මල්ල භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා, එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගැනීමත් සමග එහි පොලිතීන් ඇසුරුම් තුළ සඟවා සකස් කර තිබූ මෙම කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 367 ක් බරැති “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Share This