ඉන්දියාව කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරයි

ඉන්දියාව කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරයි

(ඉෂාර ගයාෂාන්)
මෙවර ආසියානු ක්‍රිකට්  කුසලාන ශූරතාවය දිනා ගත් ඉන්දියාව කුසලානය නොමැතිව ඊයේ (28දා) රාත්‍රියේ ජය සැමරීම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට යොමු වී ඇත.
ශුරතාවය දිනා ගත් ඉන්දියාව කුසලානය ලබා නොගෙන ඇත්තේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වන පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී මෝෂින් නක්වි මහතාගේ අතින් එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමිනි. ඉන්දියාව පෙහෙල්ග්‍රාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානය සහ ඉන්දියාව අතර දැඩි විරසකයක් මතුව ඇත.
ආසියානු කුසලානය තරගාවලිය මුලසිටම දෙරට ක්‍රීඩකයන් අතර දැඩි විරසකයක් මතු වී තිබූ අතර ඔවුන් මුණගැසුණු පළමු තරගයේදී ද එකිනෙකාට අතට අත නොදී කටයුතු කිරීම ද ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක් වූ සිද්ධියක් බවට පත් වී ඇත.
කෙසේ වෙතත් මෙවර විස්සයි-20 අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති අතර ඉන් ජය ගත් ඉන්දියාව ශූරතා කුසලානය ලබා නොගෙන ජයග්‍රහණය සැමරුවේය.
ඉන් අනතුරුව ඉන්දීය නායක සිය ජයග්‍රහණය ඉන්දීය රණවිරුවන්ට ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. මේ අතර අනුශූරතාවය දිනූ පාකිස්තානය පිලට හිමි තරග මුදල් ඉන්දියාවේ සින්දුර් මෙහෙයුමෙන් විපතට පත්වූවන්ට පරිත්‍යාග කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩාවේ ජීව ගුණය හානි වන ආකාරයට භාවිතා කිරීම සම්බන්ධයෙන් විවිධ මත ජාත්‍යන්තර මාධ්‍යයේ පල වී තිබිණි.

Share This