පොලිසියේ උසස්වීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක්

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති)
සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවාගැනීම සඳහා ඉකුත්දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනකු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරිවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත. නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකර ඇති මෙම පෙත්සම් තුළින් ඔවුන් සඳහන් කර සිටින්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරි ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25 වැනිදා 45 දෙනකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කළ බවයි.
නමුත් මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කළ බවත් එය හිතාමතා කළ ක්‍රියාවක් බවත් මෙම පෙත්සම්වල වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වය මත බවත් මෙම පෙත්සම්වල සඳහන් කර ඇති අතර එහෙත් මෙම විභාගයේදී කිසිදු වෘත්තිය සුදුසුකමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
මෙම හේතු නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ විභාගයේ ප්‍රතිඵල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර ඇත.