සුද්දගෙ තැපැල්පති රජ ගෙදරට ගිය කොළඹ කොටුවේ රහස් උමඟ

කොළඹ කොටුවේ රැජින වීදියේ ජනාධිපති මන්දිරය අභියස සිටගත් විට අනෙක් පස දිස්වෙන්නේ දැවැන්ත ගොඩනැගිල්ලකි. ජනාධිපති මැදුරට මුහුණලා සැදි මේ සුවිසල් මැදුර මීට වසර විසිපහකට පෙර කොළඹ නගරයේ ගැවසුණු බොහෝ දෙනෙක් දනිති. ඒ මහ තැපැල් කන්තෝරුව නොඑසේ නම් කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයයි. මුද්දර ගන්නට, විදුලි පුවතක් යවන්නට, ලියුම් තැපැල් කරන්නට හෝ වෙනත් තැපැල් හෝ විදුලි සංදේශ කටයුත්තකට පමණක් නොව දෙස් විදෙස් හි සුපතල කෞතුකාගාරයක් ද එහි වූබැවින් එය නරඹන්නට ද බොහෝ දෙනෙක් එහි ආහ. එපමණක් නොවේ, කොළඹ බලන්නට මුලින්ම එන කෙනෙක් අනිවාර්යයෙන් නරඹන තැනක් වන්නේ මහ තැපැල් කන්තෝරුවයි.එය ඒ තරම්ම රටේ සංකේතයක්ව පැවැතිණි. අද මෙන් නොව අතීතයේ මේ කාර්යාලය අතිවිශාල පිරිසක් ගැවසෙන තැනක් විය. නැව් වලින් මෙරටට ආ සංචාරකයන්ට ස්ථිර ලිපිනයක් නොතිබු බැවින් ඔවුන්ට ලිපි ආවේ මහ තැපැල් කන්තෝරුව භාරයේය. අතීතයේ එසේ තමන් වෙත ආ ලියුම් භාරගෙන ඒවා එහි පඩිවෙලේ වාඩිවී කියවන විදේශිකයෝ එහි සුලබ දසුනක් විය.
රැජිණ වීදිය ලෙසින් අතීතයේ හැඳින්වූ වර්තමානයේ ජනාධිපති මාවතේ පිහිටා ඇති මේ දැවැන්ත ගොඩනැගිල්ල දෙපසින් අතීතයේ බේලි වීදිය ලෙසින් හැඳීන්වූ අද මුදලිගේ මාවත හා පෙර කුමාර වීදිය ලෙසින් හැඳීන්වූ වර්තමාන ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත පිහිටා තිබේ.
මේ ගොඩනැගිල්ල සැළසුම් කොට ඉදිකරනු ලැබූයේ තැපැල් කාර්යාලය වෙනුවෙන්මය. එහි ඉතිහාසය 19 වන ශත වර්ෂය තෙක් දිවයයි. තැපැල් හා විදුලි සංදේශ කාර්යාලය එවකට රාජ්‍ය ආයතනවලින් ප්‍රධානතම ආයතනයක් විය. එය කොතරම් වැදගත්දැයි කිවහොත් එවකට අධිරාජ්‍යවාදී යුගයේ මෙරට පාලනය කළ රාජ්‍ය නායකයා වූ ආණ්ඩුකාරවරයා නිවාඩු ගන්නා විට ඔහු වෙනුවෙන් ආණ්ඩුකාර ධූරයේ වැඩබැලුයේ තැපැල්පතිවරයාය. පසුකාලිනව තනතුරු නාම වෙනස් වුවත් එවකට තැපැල් හා විදුලි සංදේශ කාර්යාලයේ ප්‍රධානියා එවැනි බලතල සහිත තනතුරක් විය. මේ කාර්යාලය රාජ්‍ය පාලනය හා කොතරම් සම්බන්ධදැයි කිවහොත් මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ එහි පොළව යටින් රජගෙදරට උමගක් ද සහිතවය. පසුකාලිනව පැවැති ත්‍රස්තවාදී කලබල හේතුවෙන් එම උමං මාර්ගය දෙපසින් වසා දමා ඇතත් අදත් එය විවෘත කළ හැකි තත්ත්වයේ ඇත.
1891 අගෝස්තුවේ දී වැඩ ආරම්භ කෙරුණු මේ ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳ රස කතා රාශියක් තිබේ. එහි ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තුව රුපියල් 270000 කි. එවකට එය අතිවිශාල මුදලක් බව නොකිව මනාය. ටෙන්ඩර් කැඳවීමේදී අඩුම ටෙන්ඩරය ඉදිරිපත් වූයේ ලක්ෂයකට බැවින් ගොඩනැගිල්ල ඉදිකිරීම ටෙන්ඩර් නොදී රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින්ම කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව වැඩ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉදිකිරීම කළ අතර ඒ සඳහා අවශ්‍ය කුළුණු ඉදිකිරීම වෝකර් සහ පුත්‍ර සමාගම් විසින් සිදු කරන ලදී. පුනරුද යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව ඉදිවූ මෙම ගොඩනැගිල්ලේ ඉතිරි කටයුතු රජයේ කර්මාන්ත ශාලාව විසින් සිදු කර ඇත.
කළුගලින් ඉදිවූ ප්‍රධාන පඩිපෙළ සඳහා කළුගල් සපයා ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයෙන් වන අතර අනෙකුත් කපන ලද කළුගල් රුවන්වැල්ල හා රත්නපුර ප්‍රදේශයෙන් ගෙනැවිත් ඇත. ඒවා ගෙනැවිත් ඇත්තේ ක`ළ ගඟ ඔස්සේ පාරුවලිනි. ක`ඵතර සිට මහාමාර්ගය ඔස්සේ ඒවා ප්‍රවාහනය කර තිබේ. මැලේසියාවෙන් ගෙන ආ ලී වලින් ඉහල මහලේ බිම සකසා ඇති අතර ආනයනික අලංකාර මල් වීදුරු ජනෙල්වලට යොදා තිබේ. මේවා අදත් එලෙසින්ම පවතියි. එතුළ වෙසෙන්නන්ට වායු සමීකරණ හෝ දහවලේ දී ආලෝකය අමුතුවෙන් සපයා ගත යුතු නොවන්නේය. එහි ඇතුළත බිත්ති සිමෙන්ති හා ගඩොලින් ද වටා බිත්ත වරිච්චියෙන් ද බැඳ ඇත. එම ගොඩනැගිල්ලේ ශක්තිමත් බව පිළිබඳ දියහැකි හොඳම උදාහරණය වන්නේ අවට අලුත් ගොඩනැගිලි මහ බැංකු බෝම්බයෙන් දෙදරා බිමට සමතලා වෙද්දී මේ ගොඩනැගිල්ලට කිසිදු හානියක් සිදුනොවීමය.
1893 වර්ෂයේ මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා පිරිමි සහ ගැහැණු සේවකයන් 315 පමණ සිට ඇති අතර, ඉන් 180 පමණ පුහුණු ශ්‍රමිකයන් බව ලේඛන ගතව ඇත. 1895 ජනවාරි මුල් ගොඩනැගිල්ලේ කොටසක ගෙවැදීම සිදුකරන ලදි. මේ පිළිබඳව එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආර් කේ මැක්බ්‍රයිඩ් සඳහන් කර ඇත්තේ ප්‍රධාන තැපැල් කාර්යාලය ලාභදායිම ගොඩනැගිල්ල බවයි. එයට හේතු වශයෙන් ඔහු අනෙකුත් ගොඩනැගිල්ලි වලට වඩා ඇතුළත සැලසුම් බොහෝ වන බව සහ ඇතුළත හා පිටත ඉතා අලංකාර හා සිත් ඇදගන්නා සුළු බව දක්වා ඇත. 270000ක ඇස්තමේන්තුවක් මත ආරම්භ කළත් එය ඉදිකර අවසන් වනවිට රුපියල් 351207 ක් ඒ සඳහා වැය වී තිබිණි. මේ නිසා ව්‍යවස්ථා සභාවේ මේ පිළිබඳව කතා කරනු ලැබූ අතර ඒ සඳහා විවාදයක් ද පැවැත්වුණේ ගොඩනැගිල්ලක් සඳහා ඒ සා විශාල මුදලක් වැයකිරීම වරදක් යැයි සළකමිනි. නමුත් විවාදයෙන් පසු පිළිගැනුනේ එහි අලංකාරවත් භාවය අනුව සළකා බලනවිට වැය වූ මුදල සාධාරණ බවය. කොළඹ නගරයේ පළමු වරට විදුලියෙන් ආලෝකමත් කරන ලද්දේ ද මෙම ගොඩනැගිල්ලය. ඒ වනවිට ජනාධිපති මන්දිරයේ සිට සියලුම ගොඩනැගිලි ආලෝකමත් කරන ලද්දේ ගෑස් ලාම්පු වලිනි.
1895 අගෝස්තු 19 වැනිදා මහ තැපැල් කාර්යාලය ලෙසින් විවෘත වූ මේ අද්වීතීය ගොඩනැගිල්ල මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව සතූවී ඇතත් ඒ වසර 25 කට පසුවය. 2000 ජනවාරි 21 වැනිදා නිකුත් වූ අංක 1116 ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් කොට තිබියදීත් දේශපාලන වුවමනාවක් මත මේ ගොඩනැගිල්ල පවරා ගනු ලැබුයේ එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසිනි. කිසිදු ලියකියවිල්ලක් හෝ ගිවිසුමක් නොමැතිව විධායක බලතල මගින් පවරාගනු ලැබූ මේ ගොඩනැගිල්ල ජනාධිපති ආරක්ෂක අංශය වෙත ලබා දී තිබේ. ගතවූ වසර විසිපහක කාලය තුළ එහි ත්‍රිවිධ හමුදාව නැවැතී සිටි අතර ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක ආකෘතියට බලවත් සේ හානි සිදුකොට ඇති බව එම ගොඩනැගිල්ලේ කළ සංචාරයක දී දැකිය හැකි විය. එහි තිබු වටිනා දැවමය කවුන්ටර ආවරණය වන ලෙසින් තවත් ස්ථාන රාශියක ද පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි සිදුවන පරිදි බැඳී ස්ථිර බිත්ති විය. එමෙන්ම කඩා බිඳදැමීම් විනාශ කිරීම් මෙන්ම එහි සමහර වටිනා නිර්මාණ බැහැර ගෙන යාම් පිළිබඳව ද නිරික්ෂණය කළ හැකි විය. එහි තිබු සමහර නිර්මාණ උදාහරණ ලෙස එම ගොඩනැගිල්ලට ඇතුල් වන තැනම ඉහළට නගින්නට ඇති පඩි පෙළ ආරම්භයේ ඇති කු`ඵණු මත තිබු නිර්මාණ අද නැත. එම ගොඩනැගිල්ල ඉදිරියේ කණු මත තිබුණු පහන් ද දැන් නැත. එහෙත් ඒවා විනාශවී ගොස් නැතැයි ද ඒවා තවමත් කාගේ හෝ නිවසක ඇතැයි ද තැපැල් දෙපාර්තමේන්තුවේ සමහරු විශ්වාස කරති.
මේ තරම් වටිනා ගොඩනැගිල්ලක් විනාශ මුඛයේ තිබිය දීත් ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් නොකලේ ඇයි දැයි විමසීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇමතූ නමුත් එම දෙපාර්තමේන්තුවේ කිසිවෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය තුසිත මෙන්දිස් ට ඉකුත් අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දුරකතන ඇමතුම් 16 ක් දී ඇති අතර ඔහු පිලිතුරු දුන්නේ එකම ඇමතුමකට පමණි. එහි දී ද මේ සම්බන්ධව අසන්නට සූදානම් වෙත්ම “මම මේ ඇමතිතුමා එක්ක මීටිමක ඉන්නෙ. පස්සෙ කතා කරන්න” කියමින් දුරකථනය විසන්ධි කළේය. ඉන් පසුව කිසිදු ඇමතුමකට ඔහු පිළිතුර දුන්නේ නැත. පුරාවිද්‍යාව අයත් වන්නේ සංස්කෘතික අමාත්‍යංශයටය. එබැවින් මේ පුරාවිද්යාස්ථානයේ විනාශය පිළිබඳව ගන්නා පියවර විමසන්නට සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමතා දුරකතන ඇමතුම් 19 ක් දුන්න ද ඔහු කිසිදු ඇමතුමකට පිළිතුරු දුන්නේ නැත. මෙවැනි බලධාරින් සමග පුරාවිද්‍යා ස්ථාන රැකේවිද යන ප්රශ්නය වෙනමම මතුවේ.
මෙම ගොඩනැගිල්ල ජනාධිපතිවරිය විසින් කට වචනයෙන් පවරාගත් දා සිට පත්වූ සියලු පාලකයන් ගෙන් එය යළි ලබාගැනීමට තැපැල් වෘත්තිය සමිති සටන් කළහ. ඔවුන් එය යළි තැපෑලට පවරන ලෙස ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීමට සවන් දුන්නේ වර්තමාන රජය විසින් පමණකි. වර්තමාන රජය යලි මේ ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.
ඒ අනුව මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවට එය යළි ලැබී තිබේ’. යලිත් එහි ප්‍රධාන තැපැල් කාර්යාලය ස්ථානගත කිරිමට තැපැල් බලධාරිහු සැරසෙති. ඒ සඳහා ගොඩනැගිල්ලේ පළමු ආකෘතිය යටතේ යලි සංරක්ෂණය කළ යුතුය. එය ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. කළ යුත්තේ සංරක්ෂණයකි. එහි දී ගොඩනැගිල්ලේ පළමු ආකෘතියට හානි සිදුවන පරිදි කර ඇති ඉදිකිරීම් ඉවත් කළ යුතුය. පොළව යට පිහිටි මහලක් ද බිම් මහලද උඩු මහලක් ද සහිත මේ දැවැන්ත ගොඩනැගිල්ලේ වර්ග අඩි 45000 ක් පමණ වේ. එය සංරක්ෂණය කිරීම තැපෑලට නම් වත්කම් නැති බව විශ්වාසය. ආයෝජකයෙකුට දී එහි සංරක්ෂණ කටයුතු සිදුකළ හැකි නමුත් තැපැල් බලධාරින් ඊටත් වඩා සාධාරණ ක්‍රමවේදයකට අවතීර්ණ වී තිබේ. ඒ විදේශ කටයුතු අමාත්‍යංශය සමග ගිවිසුමකට එළැඹීමයි. ඒ වෙනුවෙන් මේ වනවිට මූලික කටයුතු සිදුකර ඇත. එහිදී සිදුවන්නේ සංරක්ෂණ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සිදුකර ඒ වෙනුවෙන් එහි ඉහළ මහල ඔවුන්ට ලබාදීමටය. ඒ අනුව දැනට කුලී පදනමින් පවත්වාගෙන යන විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාල කිහිපයක් මෙම ගොඩනැගිල්ලට ගෙන ඒමට කටයුතු කරනු ඇත.
තැපැල්පති රුවන් සත්කුමාර පවසන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව මෙම ගොඩනැගිල්ල තැපැල් හා විදේශ කටයුතු යන අංශ දෙක විසින් බෙදාගැනිමට තීරණය කළ බවකි. ඒ අනුව විදේශ කටයුතු අමාතවරයා විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ද ලැබී ඇතැයි කි සත්කුමාර මහතා ඒ අනුව එහි සංරක්ෂණය සහිත ප්රතිසංස්කරන කටයුතු ආරම්භ වන බව ද ඔහු කිවේය. කෙසේ වෙතත් එහි සියලු ඉදිකිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
”ජීපීඕ කියන්නේ රටක සංකේතයක්. දැනට අපි සකස් කරන්නේ උඩු මහල හා බිම් මහල පමණයි. යටි මහලේ තවම නාවික නිලධාරින් ඉන්නවා. ඒ අයට ඉවත් වෙන්න කියල තියෙන්නේ. එහි කටයුතු පසුව බලනවා. පළමු මහළ විදේශ කටයුතු අමාත්‍යංශයටත් බිම් මහල තැපැල් දෙපාර්තමේන්තුවටත් ගන්නවා. මොකද දැනටමත් තැපැල් කාර්යාලය පවත්වාගෙන යන බ්‍රිස්ටල් වීදියේ තැනට අපි විශාල මුදලක් කුලී ගෙවනවා. ” ඔහු කීවේය.
විශේෂ ස්තුතිය.- අතීත තොරතුරු සොයා යාමේ දී බොහෝ සේ උපකාර කළ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ගරු ප්‍රධාන ලේකම් මුදිත කරුණාමුණි ට
විනීතා එම් ගමගේ