වසර 5ක් නිවසින් පිටත ලෝකය නොදුටු ඇෆ්ගන් තරුණිය

වසර 5ක් නිවසින් පිටත ලෝකය නොදුටු ඇෆ්ගන් තරුණිය

වයස අවුරුදු 12දී තාලිබාන් සටන්කරුවකු හා විවාහ වූ මර්ජාන්ගේ කතාව ලෝකයම කම්පාවට පත් කර තිබේ. එය 2025 වසර වන විට ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට හිමිවූ නිදහස, අයිතිය සහ මනුෂ්‍යත්වය එන්න එන්නම විනාශ වී ඇති බවට සාක්ෂියකි.

මර්ජාන් යනු බාමියන් පළාතේ උපන් දැරියකි. ඇයගේ පියා ඇයව තාලිබාන් සෙබළෙකුට විවාහ කර දී ඇත්තේ පවුලේ ආරක්ෂාව හා ආහාර සපයන බවට වූ පොරොන්දුවක් මතය. මර්ජාන්ව තාලිබාන් සටන්කරුවකුට විවාහ කර දීමෙන් සිය පවුලේ ආරක්ෂාව සලසා ගත හැකිවේ යැයි සිතුවද එය නිවැරදි නොවීය. මර්ජාන්ගේ සිරගෙදර ජීවිතය ඇරඹෙන්නේ ඇගේ විවාහයත් සමගය.

විවාහයෙන් පසුව මර්ජාන්ට අධ්‍යාපනය ලැබීමට හෝ කිසිදු සමාජ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අවසර ලැබුණේ නැත.අඩුම තරමේ නිවසින් බැහැරව යාමට හෝ ඇයට අවසර නොලැබිණි. මේ ආකාරයට ඇය වසර 5ක් තම නිවසේම සිරවී ජීවත්ව තිබුණි.

“මට නිවසින් පිටත ලෝකය ගැන මතක නැහැ. මගේ දරුවාටත් පාසලක් නැහැ. අපි දෙදෙනාම නිවස ඇතුළෙ හිරවෙලා”

මර්ජාන් මාධ්‍ය හමුවේ පවසන්නේ එසේය.

තාලිබාන් නීති අනුව කාන්තාවන්ට පිරිමියකුගේ අනුමැතිය නොමැතිව නිවසින් පිටව යා නොහැකිය. මේ සියල්ල මර්ජාන්ව කායිකවත්, මානසිකවත්  දැඩි පීඩනයකට ලක්කර තිබේ.

ඇගේ කතාව තවත් බොහොමයක් ඇෆ්ගන් කාන්තාවන්ගේ ජීවිත කතාවයි. නමුත් ඔවුන්ගේ ජීවිතයේ නීරස කොටස එළියට පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාව කතා කිරීම පවා ඔවුන්ට තහනම්ය. කෙසේ හෝ ලෝකය හමුවේ අනාවරණය වූ මර්ජාන්ගේ කතාව තාලිබාන් ආණ්ඩුව යටතේ විවාහය, ආදරය සහ නිදහස යන සංකල්පයන් කෙතරම් විකෘති වී ඇත්දැයි පෙන්වා දේ.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙවැනි විවාහයන් බහුතරයක් බලහත්කාරයෙන් සිදුවන අතර, කාන්තාවන්ට නීතිමය ආරක්ෂාවක් නොමැති බවයි.

තවද, මර්ජාන්ගේ කතාව ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට අද දින ජීවත්වීම යනු, ජීවිතයක් නොව සිරවීමක් බව තහවුරු කරයි.

සඳුනි තිලකරත්න

Share This