ජනපති කැඳවූ පක්ෂ නායක සමුළුව අවසන්

අමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් කෙරේ
ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපතිවරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කළේය.
අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.
පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.