වයස අවුරුදු 13 යි. වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1.10 යි – IPL තරගාවලියේ ළාබාලතම ක්‍රීඩකයා

වයස අවුරුදු 13 යි. වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1.10 යි – IPL තරගාවලියේ ළාබාලතම ක්‍රීඩකයා

බිහාර් යොවුන් ක්‍රීඩක Vaibhav Suryavanshi, IPL තරගාවලිය නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වුණා.

ඒ, පසුගියදා පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්ථාන් රෝයල්ස් (RR) වෙතින්, ඉන්දීය රුපියල් කෝටි 1.10 ක් (අමෙරිකානු ඩොලර් මිලියන 0.13 ක් පමණ) වටිනා IPL ගනුදෙනුවක් අවසානයේදී යි.

වෙන්දේසිය සඳහා ඔහු ලියාපදිංචිව සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික මිලකටයි.

වෙන්දේසිය අවසන් වූ පසු RR ප්‍රධාන විධායක නිලධාරී Jake Lush McCrum සඳහන් කර තිබුණේ, සූර්යවංශි ඇදහිය නොහැකි දක්ෂයෙක් වන බවත් ඔහුව ඉදිරියට ගෙන යාමට ඉදිරි මාස කිහිපය තුළ බොහෝ දෑ සිදුවනු ඇති බවයි.

නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ වෙසෙන 13 වියැති සූර්යවංශි, ජාතික ශූරතාවලදී සහ වයස අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර තරඟවලදී ඉන්දියාව නියෝජනය කරන යොවුන් ක්‍රීඩකයෙකි.

ඔහුගේ මේ දක්වා වාර්තා අතරට, ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 58 කදී ශතකයක් (ලකුණු 104) රැස් කිරීම අයත්.

ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ එම වාර්තාවත් සමඟ ඔහු, යොවුන් වියේදී ශතකයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා බවට සුවිශේෂී සලකුණක් තැබූ බවයි.

එමෙන්ම බිහාර් හි පැවති 19 න් පහළ තරඟාවලියක් වන ‘රන්ධීර් වර්මා තරඟාවලියේදී’ සූර්යවංශි ත්‍රිත්ව ශතකයක් එනම්, නොදැවී ලකුණු 332 ක් වාර්තා කර තිබෙනවා.

Monara

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ සූර්යවංශි, ක්‍රීඩාව සම්බන්ධයෙන් හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු වසීම් ජැෆර්ගෙන් වරින් වර උපදෙස් ලබා ගන්නා බවයි.

නමුදු ඔහුගේ විධිමත් පුහුණුකරු වන්නේ ඔහුගේ පියා වන සංජීව් සූර්යවංශි බව සඳහන්.

සංජීව් ද ක්‍රිකට් ක්‍රීඩා කරන නමුත්, ඉන් ඉහළ මට්ටමට යාමට නොහැකි වූ ක්‍රීඩකයෙකි.

ඉන්දියානු ක්‍රිකට් සම්ප්‍රදායිකව මුම්බායි, දිල්ලි සහ බැංගලෝර් වැනි නාගරික ආධිපත්‍යය දැරූ නමුත් ඉන්දියාවේ දුර බැහැර ගම්මාන සහ කුඩා නගරවල ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ද පුළුල් සංචිතයක් ආකර්ෂණය කර ගැනීමට IPL සමත්ව තිබේ.

ඉන්දීය නීතියට අනුව වයස අවුරුදු 14 ට අඩු ළමා ශ්‍රමය තහනම් වුවද, ප්‍රවීණයන් පවසන්නේ වයස අවුරුදු 14 ට අඩු ක්‍රීඩකයින් ජාතික හා ජාත්‍යන්තර ඉසව් සඳහා නිතිපතා තරග කරන ක්‍රීඩා සඳහා එවැනි මාර්ගෝපදේශ නොමැති බවයි.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීම සඳහා, ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නියම කර ඇති අවම වයස් සීමාව එය වන බැවින් සූර්යවංශිට වයස අවුරුදු 15 වන තෙක් බලා සිටීමට සිදුවනු ඇති.

Monara

සූර්යවංශිගේ වෙන්දේසිය සහ ඔහුගේ කොන්ත්‍රාත්තුවේ ප්‍රමාණය පිළිබඳ පුවත, පුතුගේ ක්‍රිකට් සිහින සඳහා ඉඩම පවා විකිණීමට සිදු වූ ඔහුගේ පවුලට මහත් සතුටක් වන බව නොඅනුමානය.

ඒ අනුව ඔහුගේ පියා සංජිව් සූර්යවංශි PTI ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබුණේ, ඔහු දැන් ‘තමන්ගේ පුතා පමණක් නොව බිහාරයේ පුත්‍රයා’ වන බවයි.

ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් සංජිව් සූර්යවංශි වරෙක සඳහන් කළේ, රැකියාවක් සඳහා මුම්බායි වෙත සංක්‍රමණය වූ බිහාර්හි ගොවියෙකු වන තමා රාත්‍රී සමාජ ශාලාවක සහ පොදු වැසිකිළියක ද සේවය කළ බවයි.

එවන් තත්ත්වයක සිට පුත්‍රයාගේ සිහින වෙනුවෙන් කැපවන ඔහු, මෙම IPL වෙන්දේසිය අනවශ්‍ය ආඩම්බරයක් ලෙස දරුවාගේ හිසෙහි නොරඳවා ඉදිරියට කටයුතු කිරීමට වග බලාගන්නා බවත් අවධාරණය කර තිබුණා.

Share This