සැත්කමකට රෝහලට ගිය ධනුජය අවසන් ගමන් යයි

සැත්කමකට රෝහලට ගිය ධනුජය අවසන් ගමන් යයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශල්‍යකර්මයෙන් අනතුරුව 09 හැවිරිදි පිරිමි දරුවෙකු පියවී සිහිය නොලබාම මිය යාමේ සිද්ධියක් වාර්තා වනවා.

මේ පිළිබඳව දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව ධනුජ වික්‍රමආරච්චි නමැති දරුවෙක්.

මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ මව්පියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරයාගේ උපදෙස් අනුව පසුගිය 17 වැනිදා දෙමපියන් විසින් එම දරුවාව ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

පසුදින (18) දහවල් 01.30ට පමණ ශල්‍යකර්මය සඳහා දරුවාට නිර්වින්දන එන්නත් ලබාදී තිබෙනවා.

ශල්‍යකර්ම අවසන් කිරීමෙන් අනතුරුව දරුවාට පියවී සිහිය ලැබී නැහැ. අනතුරුව මව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන්  එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ති‌බෙනවා.

18 වැනිදා පස්වරු 6.45ට පමණ රෝහල් ගත කළ දරුවා පසුගිය 22 වැනිදා පස්වරු 4.30ට පමණ මිය ඇති බවට වෛද්‍යවරුන් දැනුම්දුන් බවයි, ඥාතීන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් බොරැල්ල පොලිසිය වෙත යොමු කර තිබෙනවා.

ඒ, දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවීම හේතුවෙන්.

දරුවා‌ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Share This