පොලිස් මූලස්ථානයේ සීසීටීවී කැමරා 07ක් අතුරුදන් වෙලා

පොලිස් මූලස්ථානයේ සීසීටීවී කැමරා 07ක් අතුරුදන් වෙලා

කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා හතක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය කාලයක සිට ස්ථාපිත කර තිබුණේ කොළඹ කොටුව විදේශ අමාත්‍යංශය පිහිටි ගොඩනැගිලි සංකීර්ණයට යාබදවයි.

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරගොඩ පිහිටි හමුදා ගොඩනැගිලි සංකීර්ණය වෙත රැගෙන යෑමෙන් අනතුරුව බලධාරීන් ගනු ලැබූ තීරණයකට අනුව ගුවන් හමුදා මූලස්ථානය තිබූ කොම්පඤ්ඤවීදියේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණයේ පොලිස් මූලස්ථානය අලුතින් ස්ථාපිත කෙරුණා.

පොලිස් මූලස්ථානය එලෙස කොම්පඤ්ඤවීදියට ගෙන යෑමෙන් අනතුරුව එය මුලින් පිහිටා තිබූ කොළඹ කොටුව ගොඩනැගිලි සංකීර්ණයේ තිබූ සීසීටීවී කැමරා හතක් අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

කොටුව පොලිස් මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ පස්වැනි තට්ටුවේ සිවිලිම ගලවා ගෙන යෑමේදී මෙම කැමරා හත අස්ථානගත වී තිබෙන අතර එම සිවිලිම ගලවනු ලැබුවේද පොලීසිය විසින්ම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් පවතින අතර එම කැමරා පොලිස් මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලේම තැනක තිබෙනු ඇතැයි විශ්වාස කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අදාළ කැමරාවල වටිනාකම මෙතෙක් ගණනය කර නැහැ.

ඒවා සොයා ගැනීම දුෂ්කර වුවහොත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම කෙරෙහිද මේ වන විට උසස් පොලිස් අවධානය යොමු කර තිබෙනවා.

Share This