සේවය අවසන් කර නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කථානායක හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම යන ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා.

මෙම හමුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා (01) පැවැති අතර, පාර්ලිමේන්තුවේ මහලේකම්කුෂානි රෝහණදීර මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමට ලබාදුන් සහයෝගය පිළිබඳව කථානායකවරයාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

එමෙන්ම, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් සහය වෙනුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටද ඔහු ස්තුතිය පළ කර ඇති බව සඳහන්.

අසීරු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව කථානායකවරයාද ඉන්දීය රජයට සහ ජනතාවට සිය ස්තුතිය පළ කර ඇති අතර, මෑතකදී බලපෑ ‘දිත්වා’ සුළි කුණාටුවෙන් පසු ලබාදුන් සහායද මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා.

තවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලය සඳහා ඉන්දියාව විසින් ලබාදෙන පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා.

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාද හමුවී සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගයට ස්තුතිය පළ කර තිබෙනවා.

මෙම හමුවලදී දෙපාර්ශ්වයම ඉදිරි පාර්ලිමේන්තු සහ රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව පළ කර ඇති අතර, වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම්ද එක් කර තිබෙනවා.

Share This