සුරේෂ් සලේ මනෝ වෛද්‍යවරුන් ඉදිරියේ රංගනයක!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මානසික තත්ත්වය ගැන අධිකරණයේදී අදත් උණුසුම් වාද විවාද.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ, සුරේෂ් සලේ මනෝ වෛද්‍යවරුන් ඉදිරියේ රංගනයක නිරත වී ඇති බවට සැක පවතිනවා.

ඔහු අධිකරණයේදී ප්‍රශ්න කරමින් කියා සිටියේ, “ත්‍රස්තවාදීන් අට දෙනෙක්ව බැලන්ස් කරපු සලේ දැන් මෙහෙම අඬනවා නම් ඒක රංගනයක් නෙවෙයිද? ඔස්කාර් සම්මානයක් දෙන්න තරම් රඟපෑමක්” බවයි.

එමෙන්ම සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බවත්, එය කෙටි කාලීන නිරීක්ෂණයක් මත සකස් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාත් එම වාර්තාව පිළිබඳ සැක මතු කරමින්, සුරේෂ් සලේට ඇති වී තිබෙන මානසික ආතතිය ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇති වූ තත්ත්වයක් බව වාර්තාවෙන්ම පැහැදිලි වන බව සඳහන් කරනවා.

ඔහු පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙකුට මෙවැනි මානසික ආතතියක් ඇතිවීම සාමාන්‍ය දෙයක් කියලයි.

මේ අතර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ, මනෝ වෛද්‍ය වාර්තාවට අනුව සුරේෂ් සලේ කාංසාව, විශාදය සහ PTSD හෙවත් පශ්චාත් කම්පන ආතති තත්ත්වයෙන් පෙළෙනවා.

කෙසේ වෙතත්, සුරේෂ් සලේව ස්වාධීන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වැඩිදුර වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තම තීරණය ජූනි 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දුන්නා.

ඒ අනුව නඩුව ලබන ජූනි 10 වැනිදා දහවල් 2.00 දක්වා කල් තබා තිබෙනවා.

Share This