ශානි අබේසේකර ඇතුළු තිදෙනාගේ මූලික අයිතිවාසිකම් නඩු විභාගය අවසන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව පසුව ප්‍රකාශයට පත් කිරීමට අද (14) තීරණය කර තිබෙනවා.
මෙම පෙත්සම්වලින් ඔවුන් කියා සිටියේ, මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළ විමර්ශනවලදී ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම නීතියට පටහැනි බවයි.
ඒ හරහා තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අධිකරණ නියෝගයක් අනුව බවයි.
සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන මාසයක් ඇතුළත ලබාදෙන ලෙස දැනුම් දී තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා.
මේ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කළ බවට ශානි අබේසේකර මහතා ගොනු කළ තවත් පෙත්සමක විභාගයද අවසන් කර ඇති අතර, එහි තීන්දුවද පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
