ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකාර්මික අංශයන්හි ආයෝජන අවස්ථා පිළිබද ඕමානය සමග සාකච්ඡා…
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අතිගරු අහමඩ් බින් අලි බින් සයිඩ් අල් රෂීඩ් මහතා, ඕමාන ආයෝජන අධිකාරියේ ආහාර සුරක්ෂිතතා අංශයේ නියෝජිත පිරිසක් සමඟ 2026 මැයි 13 වැනිදා වෙළෙඳ අමාත්‍යාංශයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවී මෙම සාකච්ඡාව සිදු කර තිබෙනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඕමානයට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම හරහා ඕමානයේ ආහාර සුරක්ෂිතතාවයට සහය වීම ගැන අවධානය යොමු කර ඇති අතර, ඒ සමඟම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්රවල පවතින ආයෝජන අවස්ථා ගැනත් සාකච්ඡා වී තිබෙනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහිදී සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා කිරි නිෂ්පාදන ක්ෂේත්රවල විශාල ආයෝජන අවස්ථා පවතින බවත්, රජය සතු විශාල ඉඩම් ප්‍රමාණයක් යොදාගෙන නව ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
ඒ අනුව, එම ව්‍යාපෘති සඳහා ඉදිරියේදී උනන්දුව ප්‍රකාශ කිරීමේ කැඳවීම් (EOI) නිකුත් කිරීමට නියමිත බවත්, ඒවා ප්‍රකාශයට පත් වූ පසු ඕමාන ආයෝජකයින්ටද එම අවස්ථා සලකා බලන ලෙස ආරාධනා කර තිබෙනවා.
මෙම හමුවට වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද එක්වී සිටියා.
ශී ලංකාවේ ආහාර හා කෘෂිකාර්මික අංශයන්හි ආයෝජන අවස්ථා පිළිබද ඕමානය සමග සාකච්ඡා
