වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති නව රූපවාහිනී (HD) මැදිරිය අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අද ටිකක් විශේෂ දවසක් වෙලා තිබුණා.

ඒ, එහි අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පුහුණුව සඳහා ඉදිකරපු නවීන මාධ්‍ය මැදිරියක් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් කරපු නිසයි.

කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව තිබුණු රූපවාහිනී මැදිරියට නවීන තාක්ෂණික උපකරණ එකතු කරලා, දැන් සිසුන්ට ඇත්තටම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයක් කරන අත්දැකීමම ලබාගන්න පුළුවන් විදිහට මේ පහසුකම් සකස් කරලා තියෙනවා.

හැබැයි මේක විතරක් නෙවෙයි.

එම අවස්ථාවත් එක්ක තවත් අලුත් මධ්‍යස්ථාන කිහිපයක්ම විවෘත කරලා තිබුණා.

ඒ අතර, සිසුන්ට තමන්ගේම වෙබ් ගුවන්විදුලි නාලිකාවක් පවත්වාගෙන යන්න පුළුවන් විකාශන මැදිරියක්, කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයක්, ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය ගැන කටයුතු කරන විශේෂ මධ්‍යස්ථානයක් ද ඇතුළත්.

මේ අතර, පසුගිය දවස්වල ගංවතුර සහ ස්වභාවික ආපදා නිසා බලපෑමට ලක්වුණු පාසල් කිහිපයක දරුවන්ට අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යන්න ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කරන්නත් මෙහිදී කටයුතු කරලා තිබුණා.

ඒ වගේම “UOVT Greening Policy” කියන පරිසර හිතකාමී හරිත ප්‍රතිපත්තියත් නිල වශයෙන් එළිදක්වලා තිබුණා.

ඒ යටතේ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සහ සංවර්ධන වැඩ සියල්ලම පරිසර හිතකාමී විදිහට කරන්නත්, 2030 වෙනකොට මේ විශ්වවිද්‍යාලය කාබන් විමෝචනයෙන් තොර හරිත පරිසරයක් බවට පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වුණා.

උත්සවයෙන් පස්සේ අගමැතිනී හරිනි අමරසූරිය ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමගත් විශේෂ සාකච්ඡාවකට එක්වුණා.

මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

Share This