රට බරපතළ ආර්ථික අවදානමක – අනුප්‍රාප්තික IMF ගිවිසුමක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
රට මේ වනවිට බරපතළ ආර්ථික අවදානමක් අබියස සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු චෝදනා කරන්නේ, ජනතාවට සත්‍ය තත්ත්වය හෙළි නොකර බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් රජය ජනතාව නොමඟ යවන බවයි.
ඉන්ධන සහ කිරිපිටි මිල ඉහළ යාමත් රටේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවත් සඳහන් කළා.
සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයා රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 7ක් ලෙස ප්‍රකාශ කළත්, ලෝක සම්මතයට අනුව අවම වශයෙන් මාස තුනක ආනයන වියදමට සරිලන සංචිත ප්‍රමාණයක් රට සතුව තිබිය යුතු බවයි.
මසකට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක පමණ වියදමක් පවතින බවත්, ඒ අනුව අවම වශයෙන් ඩොලර් බිලියන 6ක සංචිතයක් අවශ්‍ය වන බවත් ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම පවතින සංචිතවලින් චීන යුවාන් බිලියන 1.2ක් භාවිතයට ගත නොහැකි බවත්, සැබෑ භාවිතයට ඇති ප්‍රමාණය තවත් අඩු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මැදපෙරදිග අර්බුද හේතුවෙන් විදේශ රැකියා සහ විදේශ ප්‍රේෂණ අඩුවීමේ අවදානමක්ද පවතින බව ඔහු පෙන්වා දුන්නා.
2027 මාර්තු මාසයෙන් පසු IMF වැඩසටහන අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය ස්ථායිකරණ සහය අඩුවිය හැකි බවත්, 2028 සිට විදේශ ණය ගෙවීම් තවදුරටත් ඉහළ යා හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
ඒ නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමක් සඳහා දැන්ම කටයුතු කළ යුතු බවත්, එමඟින් අඩු පීඩනයක් සහිත වැඩපිළිවෙළක් ලබාගත හැකි බවත් ඔහු අවධාරණය කළා.
එමෙන්ම වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවට සහ විදුලි බිල 33%කින් අඩු කරන බවට රජය කළ ප්‍රකාශ ඉටු වී නොමැති බවත්, ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර නොලැබීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.
