රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා, ආණ්ඩුව ගෙන එන්න හදන නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් කියලා.

එයා කියන්නේ, IMF ඉලක්ක ඉක්මවන්න ආණ්ඩුව උත්සාහ කරන අතරේ, බදු පරිපාලනයත් සාපරාධී ක්‍රියාත් එක්ක සම්බන්ධ කරගෙන යන තත්ත්වයක් තියෙනවා කියලා. ඒ කියන්නේ, කෙනෙක් අමතක වීමක්, අසනීපයක්, විදේශගත වීමක් වගේ හේතු නිසා බදු කොන්දේසි ඉටු නොකළත්, ඒකත් අපරාධයක් වගේ සලකන්න ආණ්ඩුව යනවා කියලා ඔහු චෝදනා කරනවා.

ඒ වගේ ක්‍රියා මූලික සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, “සිරගත කරනවා” කියන බිය දාලා බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අදහස් ඔහු පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති බදු පරිපාලනය ගැන විශේෂඥයන්, ව්‍යාපාරිකයන් සහ අදාළ පාර්ශ්ව එක්වූ සාකච්ඡාවකදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ නව බදු ප්‍රතිපත්තිය නිසා ව්‍යාපාරිකයන් අතර බියක් ඇති වෙනවා කියලා. ඒක අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත්, පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීමටත්, රැකියා උත්පාදනයටත් අහිතකර බලපෑමක් කරන බවයි.

තවද, මේ ප්‍රතිපාදන හරහා අධිකරණ බලයත් අභියෝගයට ලක් වෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීමේ මූලධර්මයත් උල්ලංඝනය වෙන බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවිය යුතු බවත්, බදු මග හැරීම අනුමත නොකරන බවත් පැවසූ ඔහු, බදු නොගෙවීම සෘජුවම සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකීම නම් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන “මරු පහරක්” බවත් අවධාරණය කළා.

Share This