මෙගාවොට් 160ක බැටරි ගබඩා පද්ධති 6ක් එයි

රටේ විදුලිබල පද්ධතිය තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පළමු වරට ගෙන එන බැටරි බලශක්ති ගබඩා පද්ධති හයෙන් පළමු තොගය අද අලුයම කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

පසුගිය වසරේ ජූලි මාසයේදී රජය මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා පද්ධති 16ක් සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූ අතර, ඒ යටතේ Windforce PLC සමාගමට හිමි ව්‍යාපෘති හයක් දැන් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම පද්ධති මාහෝ, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චිය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල විදුලිබල උපපොළ ආසන්නයේ ස්ථාපිත කෙරෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ නිලධාරීන් පවසන්නේ දිවා කාලයේදී අතිරික්ත විදුලිය ගබඩා කරගෙන, රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවලදී එය නැවත ජාතික විදුලි ජාලයට මුදාහැරීමට මෙම පද්ධතිවලට හැකියාව තිබෙන බවයි.

මේ හයම එකට ක්‍රියාත්මක වුණොත් මෙගාවොට් 60ක සමස්ත ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වන බව සඳහන්.

මෙම පද්ධති පාලනය සහ කළමනාකරණය බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator සමාගම විසින් සිදුකරන අතර, නඩත්තු කටයුතු අදාළ සමාගම් විසින් සිදු කිරීමට නියමිතයි.

රජය පෙන්වා දෙන්නේ මෙම නව තාක්ෂණය හරහා විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමත්, පාරිභෝගිකයන්ට අඩු පිරිවැයකින් විදුලිය ලබාදීමත් ප්‍රධාන අරමුණ බවයි.

දැනට ඉන්ධන භාවිතයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 115ක් පමණ වැය වන අතර, මෙම බැටරි ගබඩා පද්ධති භාවිතයෙන් එම පිරිවැය රුපියල් 30ක් දක්වා අඩු කළ හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ හරහා විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන අතර, ඉන්ධන ආනයනය සඳහා මාසිකව වැයවන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

පාරිසරික අභියෝග, දේශගුණික වෙනස්කම් සහ ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයේ පවතින අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ, රටේ විදුලි සැපයුම වඩාත් විශ්වාසනීය සහ ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා මෙම ව්‍යාපෘතිය වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

Share This