මාර්ග නීති කැඩූ උතුරේ යතුරුපැදි පෙළපාලියේ තිදෙනෙක් අත්අඩංගුවට

උතුරු පළාතේ මැයි 18 වැනිදා පැවැත්වුණු සැමරුම් උත්සව අතරේ සිද්ධ වුණු යතුරුපැදි පෙළපාලියක් ගැන මේ වෙද්දී පොලිස් විමර්ශන තදින්ම ක්‍රියාත්මක වෙනවා.
සමාජ මාධ්‍ය පුරා පැතිරුණු වීඩියෝ සහ ඡායාරූපවල දැක්වුණේ, ආරක්ෂක හිස්වැසුම්වත් නැතිව යතුරුපැදි කණ්ඩායමක් මහාමාර්ගයේ පෙළපාලියක් යන ආකාරයයි. මේ සිද්ධිය ගැන ලැබුණු තොරතුරුත් එක්ක බුද්ධි අංශත් එක්ව විශේෂ සොයාබැලීමක් ආරම්භ කරලා තිබුණා.
පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙන්නේ, මේ යතුරුපැදිකරුවන් පුත්තූර් හංදියෙන් කොඩිකාමන් හරහා කිලිනොච්චිය පැත්තට ගමන් කරලා ඇති බවයි.
පසුව වීඩියෝවල පැහැදිලිව පෙනුණු එක් යතුරුපැදියක අංක තහඩුව ඔස්සේ එහි ලියාපදිංචි හිමිකරු හඳුනාගෙන, කිලිනොච්චිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කෙරක්කන්කඩ්ඩු ප්‍රදේශයට ගිහින් ඔහුව ප්‍රශ්න කරලා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ අනුව තවත් තොරතුරු රැසක් හෙළිවෙලා තිබුණා. මැයි 18 වැනිදා මේ පිරිස විශ්වමඩු හංදිය අසල එකතු වෙලා මුලතිව් මාර්ගය දිගේ වෙල්ලමුල්ලි වෛක්කාල් පැත්තට ගමන් කරලා තිබෙනවා කියලා අනාවරණය වුණා.
ඉන්පස්සේ, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ගමන් කළ අය කවුද, ඔවුන් කොහෙදී මේ ගමනට එක්වුණාද කියලා සොයා බලන්න පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරලා තිබුණා. ඒ අනුව පුදුකුඩිඉරිප්පු පොලිසිය අද උදෑසන සැකකාර යතුරුපැදිකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.
පොලිසිය කියන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යටතේ මේ වගේ සිද්ධීන් ගැන විවිධ ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පරීක්ෂණ කරගෙන යන බවයි.
ඒ වගේම, මේ සිද්ධියට අදාළ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලිසිය දැනුවත් කළ ජනතාවගේ සහයත් ඔවුන් අගය කරලා තිබුණා.
