අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම්වරිය හමුවෙයි

අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ ලන්ඩනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් ශර්ලි අයෝර්කෝර් බොච්වේ මහත්මිය හමුවුණා.

මෙම හමුව සිදු වුණේ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා අගමැතිනිය එක්සත් රාජධානියට ගොස් සිටින අතරතුරයි.

මෙහිදී දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, කාන්තා දේශපාලන සහභාගීත්වය සහ සාමාජික රටවලට ලබාදෙන සහයෝගය පිළිබඳව සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය වෙනුවෙන් අගමැතිනිය පොදුරාජ්‍ය මණ්ඩලයට ස්තුතිය පළ කළ අතර, සංවිධානය ශක්තිමත් කිරීම සඳහා මහලේකම්වරිය ලබාදෙන නායකත්වයද අගය කළා.

එසේම රටේ ඔරොත්තු දීමේ හැකියාව, තිරසාර සංවර්ධනය සහ ඇතුළත් පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවද අගමැතිනිය අවධාරණය කළා.

තාක්ෂණික සහාය, මානව සම්පත් සංවර්ධනය, දේශගුණික මූල්‍යකරණය සහ මැතිවරණ පාලනය ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදීමට සූදානම් බව මහලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

ඉදිරියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් සහ ගෝලීය අභියෝගයන්ට එකමුතුව මුහුණ දීමේ වැදගත්කම පිළිබඳවත් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්තා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

Share This