පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පාසල් ජීවිතයේදී දරුවන් ලබන අත්දැකීම් තමයි හොඳ ආකල්ප තියෙන, ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් බිහි වෙන්න මූලික වෙන්නේ කියලා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළා.

ඇය මේ බව කියා සිටියේ 2024/2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින්. මෙම උත්සවය 30 වැනි වරටත් සංවිධානය කර තිබුණේ ටවර් හෝල් රඟහල පදනම විසින්.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, දරුවන් ජයග්‍රහණය කළත් නැතත්, කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ කටයුතුවලට සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ ජීවිතයට වැදගත් අත්දැකීම් රැසක් ලැබෙන බවයි. ඒ අත්දැකීම් රටට අවශ්‍ය හොඳ ආකල්ප තියෙන පුරවැසියන් බිහි කරන්නත් වැදගත් වෙනවා කියලා ඇය සඳහන් කළා.

එමෙන්ම අද සමාජයේ සමහර වැඩිහිටියන් දරුවන්ගේ පාසල් ජීවිතය ඉක්මනින් අවසන් කරලා, ඔවුන්ව කඩිනමින් වැඩිහිටියන් බවට පත් කරන්න උත්සාහ කරන ප්‍රවණතාවයක් තියෙන බවත්, ඒක රටට අවශ්‍ය යහපත් පුරවැසියන් බිහි කිරීමට සුදුසු තත්ත්වයක් නොවන බවත් ඇය පෙන්වා දුන්නා.

“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” කියන රජයේ වැඩපිළිවෙළ යටතේ රටේ ලොකු වෙනස්කම් රැසක් කරන්න වෙනවා කියලාද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. වර්තමානයේ තියෙන ආර්ථික, දේශපාලන සහ සමාජ ගැටලු නීති වලින් විතරක් විසඳන්න බැහැ කියලාත්, ඒ සඳහා සමාජයේ ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය බවත් ඇය කියා සිටියා.

කලාව හරහා නිර්මාණශීලීත්වය, සහකම්පනය, නායකත්වය වගේ ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් බවත්, හොඳ පුරවැසියන් බිහි කරන්න අධ්‍යාපන ක්‍රමය තුළත් වෙනසක් අවශ්‍ය බවත් ඇය අවධාරණය කළා.

පාසල් වේදිකාවේ නිර්මාණවලට දායක වන හැමෝම වෘත්තීය කලාකරුවන් නොවුනත්, ඒ අත්දැකීම් ඔවුන්ව සමාජයට වැඩදායී, නිර්මාණශීලී මිනිසුන් බවට පත් කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

හොඳ පොතක් කියවීමෙන් හෝ ගුණාත්මක චිත්‍රපටයක් නැරඹීමෙන් මිනිස් සිතුවිලි යහපත් පැත්තකට යොමු වෙන බවත්, ඒ හරහා අලුත් විදිහට හිතන්න මාර්ග විවෘත වෙන බවත් ඇය සඳහන් කළා.

දරුවන්ට මේ වගේ වැදගත් අත්දැකීම් ලබාදෙන්න කැපවන ගුරුවරුන් සහ දෙමාපියන් විශාල සේවයක් කරන බවත්, දක්ෂ වගේම සංවේදී දරු පරපුරක් හරහා රටට අවශ්‍ය හොඳ නායකයින් බිහි වෙන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

Share This