නායයෑම් අවදානම තියෙන වතු ප්‍රජාවට නව නිවාස ව්‍යාපෘති දෙකක්

“මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කේ නව නිවාස ව්‍යාපෘති දෙකක් සඳහා මුල්ගල් තැබීම ඊයේ (26) සිද්ධ වෙලා තියෙනවා. මේක සිද්ධ වුනේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහත්තයාගේ ප්‍රධානත්වයෙන්.

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායබැද්ද වත්තේත්, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්වන් කොටසේත් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.

මේ ව්‍යාපෘතිය කරන එකේ ප්‍රධාන හේතුව තමයි නායයෑම් අවදානම තියෙන වතු ප්‍රජාවට ආරක්ෂිත වාසස්ථාන ලබාදෙන්න.

නායබැද්ද වත්තේ පවුල් 11ක්ටත්, මල්වන් කොටසේ පවුල් 23ක්ටත් එකතුවට පවුල් 34කට මේ නව නිවාස හදලා දෙන්න යෝජනා කරලා තියෙනවා.

මේ නිවාස 34 හදන්න රජය රුපියල් මිලියන 108කට වැඩි මුදලක් වැය කරන්න යනවා. එක් ගෙයක් හදන්න ලක්ෂ 28ක් වෙන් කරලා තියෙනවා, තවත් ලක්ෂ 4ක් යටිතල පහසුකම් සඳහා. ඒ වගේම පර්චස් 10ක ඉඩමකුත් මේ පවුල්වලට ලැබෙනවා.

මේ අවස්ථාවට අමාත්‍යවරයාත් එක්ක, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරු, අමාත්‍යාංශ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, සහ ප්‍රතිලාභී පවුල් ගොඩක් දෙනා එක්වෙලා තිබුණා.

Share This